ඊශ්‍රායල හමුදා අධිකරණ මඟින් ‘ජාතිකවාදී’ පදනමක් මත සිදුකෙරෙන මිනීමැරුම් සම්බන්ධයෙන් වරදකරුවන් වන පලස්තීනුවන්ට පමණක් මරණ දඬුවම ලබා දීම අනිවාර්ය කරමින් නව නීතියක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව (Knesset) විසින් ඊයේ (මාර්තු 30) සම්මත කර තිබේ. බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දකුණේ මිත්‍ර පාර්ශවයන් විසින් ලබා දී තිබූ පොරොන්දුවක් ඉටු කරමින් මෙම නීතිය සම්මත කර ඇති අතර, මෙය අන්තර්ජාතික වශයෙන් දැඩි විවේචනයට ලක්ව ඇත.
මෙම නීතිය සම්මත වීමෙන් පසු ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්වීර් (Itamar Ben-Gvir) සහ අනෙකුත් මන්ත්‍රීවරුන් ෂැම්පේන් පානය කරමින් සහ සිනහසෙමින් එම ජයග්‍රහණය සමරන අයුරු දැක්වෙන ඡායාරූප මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කර තිබේ. මෙය ඊශ්‍රායලය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලින් බැහැරව පසුපසට ගත් පියවරක් බවත්, මෙය යුරෝපා සංගමයේ දැඩි අවධානයට සහ කනස්සල්ලට හේතු වී ඇති බවත් යුරෝපා සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙතෙක් ඊශ්‍රායලය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක නොවූ අතර, මෙම නව නීතිය මඟින් එය පලස්තීනුවන්ට පමණක් සීමා කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව විචාරකයෝ පෙන්වා දෙති. මෙම පියවර හරහා කලාපීය ගැටුම් තවදුරටත් උත්සන්න විය හැකි බවට මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවයි.














