ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමේ ද්විපාර්ශ්වික ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර ඉතාලි බලපත්‍ර බවට පරිවර්තනය කිරීමේ අයදුම්පත් භාරගැනීම අද (10) සිට ආරම්භ කරන බව රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
අධික ඉල්ලුමක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අප්‍රේල් 10 වනදා සහ අප්‍රේල් 15 වනදා යන දිනයන් සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ මෙම රියදුරු බලපත්‍ර අයදුම්පත් භාරගැනීම සඳහා පමණි. ඒ අනුව එම දින දෙකේදී අනෙකුත් කොන්සියුලර් සේවාවන් හදිසි අවශ්‍යතාවලට පමණක් සීමා කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි. අයදුම්පත් විශාල ප්‍රමාණයක් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා මෙම තාවකාලික සංශෝධනය සිදු කර ඇති බැවින් මහජන සහයෝගය අපේක්ෂා කරන බව තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.
















