කටුනායක ගුවන් තොටුපොළේදී විෂ මත්ද්‍රව්‍ය සමඟ භික්ෂූන් පිරිසක් අත්අඩංගුවට පත්වීමේ සිදුවීම සහ ඒ සම්බන්ධ විමර්ශන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිසක් එක්ව සිටියහ.
විෂ මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට එරෙහි රජයේ වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා ශක්තිමත්ව අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. සම්බුද්ධ සසුන සහ ඒ හා බැඳුණු හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට රජය ප්‍රමුඛතාව ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මුළු මහත් සමාජයම කම්පාවට පත් කළ මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව පොලිස්පතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
සංඝ සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ සහාය අවශ්‍ය බව පෙන්වා දුන් මහා සංඝරත්නය, මහානායක හිමිවරුන් විසින් නිකුත් කර ඇති නිවේදනය සමස්ත සංඝ සමාජයේ පණිවිඩය ලෙස සලකා කටයුතු කරන ලෙස රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා විහාර දේවාලගම් පනත ඇතුළු අදාළ පනත් සංශෝධනය කිරීම සහ නෛතික ප්‍රතිපාදනවල සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයත්, අමාත්‍යවරුන් වන ආනන්ද විජේපාල සහ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම්, නීතිපති සහ පොලිස්පති ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.














