27 April 2024
#දේශීය

රට රකින්න ජනපති නිවැරදිව කටයුතු කරන බව ලාන්සා කියයි

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කර ගනිමින් ආර්ථිකය සහ ජන ජිවිතය යථා තත්ත්වයට පත්කර ගැනීමට ජනාධිපතිතුමා නිවැරදිව කටයුතු කරමින් සිටින බව ප්‍රජා සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොවිඩ් 19 රෝගීන් සමාජයෙන් බිහිවීම පාලනය කර ගනිමින් රට තුළ මෙම වසංගතය ව්‍යාප්ත වීම වලක්වා ගැනීමට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ විශාල කැපවීමකින් කටයුතු කරන බවයි. එමෙන්ම ජනජීවිත අඩාල නොවී රට නිසි අයුරින් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා සපයන සියළුම අංශ සිය කාර්යභාරය නිවරදිව ඉටු කරමින් සිටිනවා. පවතින තත්ත්වය තුළ රජය විසින් නිකුත් කරනු ලබන නිවේදන, දැනුවත් කිරීම් හා නිවරදි තොරතුරු ජනමාධ්‍ය විසින් වගකීමෙන් යුතුව ඉදිරිපත් කිරීමද ප්‍රශංසනීය බව නිමල් ලාන්සා මහතා පැවසීය.

රෝගීන් හඳුනා ගැනීම, පරීක්ෂණ කිරීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර ක්‍රමවේද සාර්ථකව සිදු කරමින් කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී තිබෙනවා. ලෝකයේ ධනවත් රටවල් පවා වසංගතය හේතුවෙන් ඉතා අසීරුතාවයකට පත්ව සිටින මොහොතක රටේ නායකත්වය විසින් නිවැරදි තීරණ ගැනීම හේතුවෙන් රටේ ජනතාව ආරක්ෂා වී සිටින බව නිමල් ලාන්සා මහතා පවසයි.

රටේ බහුතරයකගේ කැමැත්ත රට යථා තත්ත්වයට පත්කර ගැනීම වුවත් පවතින තත්ත්වයන් තුළ විපක්ෂයේ හැසිරීම ඉතා කණගාටුදායකයි. කොවිඩ් 19 රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ශ්‍රී ලංකාව තුල වසංගත තත්ත්වය ව්‍යාප්ත වී රටේ ආර්ථිකයත්, ජන ජිවිතයත් විනාශ කරමින් රට ආරාජික කොට පටු දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් විපක්ෂය කටයුතු කරන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කර ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හා දේශීය නිෂ්පාදන නගාසිටුවමින් සහ නව නිපැයැම්කරුවන් සදහා අවස්ථාව ලබාදෙමින් ඔවුනගේ දායකත්වය රටට ලබා ගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙල පිළිබදව රටේ ජනතාව විශ්වාසය තබා ඇති බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *