මාලබේ උඩවත්ත පාර ප්‍රදේශයේදී රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ තුනකට ආසන්න ප්‍රමාණයක් සමඟ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මාලබේ පොලිසිය සමත් වී තිබේ. මාලබේ පොලිස් ස්ථානාධිපතිවරයාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීම මෙරට මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වල තීරණාත්මක ජයග්‍රහණයකි.
මුලින්ම උඩවත්ත පාරේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 50ක් තිබී ඇති අතර, ඔහුගෙන් කරන ලද දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ මත්ද්‍රව්‍ය ලබාදුන් ප්‍රධාන ජාවාරම්කරු පිළිබඳ තොරතුරු අනාවරණය විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම කහන්තොට ප්‍රදේශයේදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 800ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 200ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සොයා ගැනීමට හැකි විය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පයාගල, කැකුණගහවිල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. මත්ද්‍රව්‍යවලට අමතරව ජාවාරම සඳහා භාවිතා කළ යතුරුපැදියක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් අද (24) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය. මාලබේ පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන් මෙම ජාලයේ සෙසු සාමාජිකයන් සෙවීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.















