මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත මට්ටමක පැවතීම නිසා එම පොහොර වී වගාව සඳහා පමණක් ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා 2026 යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් අමිශ්‍ර යූරියා පොහොර නිකුත් කිරීම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව අද (30) නිවේදනය කෙරිණි. මේ පිළිබඳව දිවයිනේ සියලුම ගොවිජන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.
නව ක්‍රමවේදය යටතේ පොහොර නිකුත් කිරීමේදී එක් එක් ගොවියා වගා කරන භූමි ප්‍රමාණය මැනවින් සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍යම ප්‍රමාණය පමණක් නිකුත් කිරීමට උපදෙස් දී තිබේ. කන්න රැස්වීම්වල තීරණ හෝ අදාළ ගොවියා වී වගා කරන බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව, දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති තොරතුරු මත පදනම්ව මෙම පොහොර නිකුත් කිරීම සිදු කෙරේ. මෙලෙස දැඩි කළමනාකරණයක් සිදු කරනුයේ පවතින සීමිත පොහොර තොග උපරිම ප්‍රයෝජනයට ගනිමින් යල කන්නයේ වී වගා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහාය.
ගෝලීය සැපයුම් දාමයේ ඇති වී තිබෙන බාධා හමුවේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය සුරක්ෂිත කර ගැනීම රජයේ මූලික අරමුණ වී තිබේ. ඒ අනුව පවතින යූරියා පොහොර තොග වෙනත් වගාවන් සඳහා ලබා නොදී වී වගාවට පමණක් ප්‍රමුඛතාවය ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ගොවිජන සංවර්ධන නිලධාරීන් විසින් මෙම ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදු කරනු ඇති බවත්, ගොවීන් හට සිය වගා බිම් ප්‍රමාණය තහවුරු කර පොහොර ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














