ශ්‍රී ලංකාවේ ප්‍රථම අඩු මිල සිල්ලර වෙළෙඳ ආකෘතිය (Off-price retail model) හඳුන්වා දෙමින් ‘සන්නාම අමාත්‍යාංශය’ (Ministry of Brands – MOB) සිය මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කර තිබේ. කොළඹ 4, ආර්.ඒ. ද මෙල් මාවතේ (වජිර පාර) අංක 28/9 දරන ස්ථානයේ පිහිටා ඇති වර්ග අඩි 10,000 කින් යුත් මෙම ප්‍රමුඛතම වෙළඳසැල, 2026 පෙබරවාරි 15 වන දින අමුත්තන් සඳහා පෙරදසුනක් ලබා දුන්නේය. මෙම වෙළඳසැලේ විශේෂත්වය වන්නේ ලොව සුපතල සුඛෝපභෝගී සහ වාරික සන්නාමවල මුල් මිල ගණන් වලින් සියයට 90 ක් දක්වා වූ දැවැන්ත වට්ටම් සහිතව පාරිභෝගිකයන්ට ලබා දීමයි.
අක්බාර් බ්‍රදර්ස් සමාගමේ සහාය ඇතිව ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය හරහා යුරෝපයෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබාගත් ජාත්‍යන්තර වෙළඳ නාම 2,000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. Valentino, Salvatore Ferragamo, Burberry, Michael Kors, Ralph Lauren, Lacoste සහ Air Jordan වැනි කීර්තිමත් ලේබල යටතේ නිපදවන ඇඳුම් පැළඳුම්, පාවහන්, අත්බෑග් සහ ගෘහ උපකරණ ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන මෙහිදී මිලදී ගත හැකිය. දිනපතා අලුත් වන නිෂ්පාදන තොග හේතුවෙන් පාරිභෝගිකයන්ට නිරන්තරයෙන් වෙනස් වන “නිධන් සෙවීමේ” (Treasure hunt) සාප්පු සවාරි අත්දැකීමක් විඳගත හැකි බව එහි කළමනාකාරීත්වය පවසයි.
මෙම නව වෙළඳ සංකල්පය පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂ අමීර් අක්බරාලි මහතා ප්‍රකාශ කළේ ලෝක මට්ටමේ සුඛෝපභෝගී සන්නාම ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීමට හැකි වීම පිළිබඳව සතුටු වන බවයි. එමෙන්ම තිරසාරභාවය සහ වටිනාකම ඒකාබද්ධ කරමින් විලාසිතා ආයතනවල අතිරික්ත තොග කළමනාකරණය කිරීමට ද මෙම ආකෘතිය දායක වන බව අධ්‍යක්ෂ රම්සි හැමූඩ් පෙන්වා දුන්නේය. කොළඹ ප්‍රධාන වෙළඳසැලට අමතරව 2026 මාර්තු මාසයේදී One Galle Face Mall හි දෙවන වෙළඳසැලක් විවෘත කිරීමට ද සැලසුම් කර ඇති අතර, මෙම වෙළඳසැල් සෑම දිනකම පෙ.ව. 10.00 සිට ප.ව. 10.00 දක්වා විවෘතව පවතී.














