තුර්කියේ ගිනිකොනදිග සන්ලියුර්ෆා (Sanliurfa) පළාතේ පාසලක අද (අප්‍රේල් 14) සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් සහ ගුරුවරුන් ඇතුළු අවම වශයෙන් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව එම පළාතේ ආණ්ඩුකාර හසන් සිල්ඩැක් (Hasan Sildak) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. ප්‍රහාරය එල්ල කළ 19 හැවිරිදි තරුණයා එම පාසලේම හිටපු සිසුවෙකු වන අතර, වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු සියදිවි නසාගෙන තිබේ.
සිවෙරෙක් (Siverek) දිස්ත්‍රික්කයේ පිහිටි මෙම පාසලට රයිෆලයක් රැගෙන පැමිණි ප්‍රහාරකයා මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබූවන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. තුවාල ලැබූ 16 දෙනාගෙන් 12 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුර්කි ආරක්ෂක අංශ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.














