27 April 2024
#දේශීය

අපේ උරුමයන් වැනසීමට ඉඩදිය නොහැකි බව මන්ත්‍රි පාඨලී කියයි

අක්කර දෙකහමාරකට වැඩි පරිසර සංවේදී ප්‍රදේශයක යම් සංවර්ධන කටයුත්තක් සිදුකරන විට ඒ සඳහා පාරිසරික ඇගයීමක් සිදුකිරීම අනිවාර්ය බවත්, ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පාරිසරික ආයතවල මැදිහත්වීම අත්‍යාවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ වර්තමානයේ සිදුවන දැවැන්ත පරිසර වන විනාශය පිළිබඳව අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, ” සිරස රූපවාහිනියේ වැඩසටහනකට පැමිණි භාග්‍යා අබේරත්න නැමති දැරිවියක් සිංහරාජය ප්‍රදේශයේ හෝටල් සංකීර්ණයක් ඉදිකරන බවටත්, අලිමංකඩ විනාශ කර ඇති බවටත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් දැන් අපේ පොලීසිය ඉතාමත් කාර්යක්ෂමව කටයුතු කරල ඒ දැරිවියගෙන් කට උත්තර ගත් බව වාර්තා වෙලා තියෙනවා.

මේ රටේ පසුගිය කාලයේ සිදුවෙච්ච දැවැන්ත වන විනාශය, පස්, කළුගල්, වැලි විනාශය වැළැක්වීමට නෑසූ කන් ඇතිව, ඒවගේම පියවුණු ඇස් සහිතව හිටපු ශ්‍රී ලංකා පොලීසිය මේ අවස්ථාවේ ක්‍රියාකරල තිබෙන ආකාරය අපට නම් පුදුමයක් නෙමෙයි. පසුගිය වසර දෙකක පමණ කාලය තුළ, වර්තමාන රජය පැමිණියාට පස්සෙ 2019 නොවැම්බර් මාසෙ සිට මේ පොලීසිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ යුක්තිය සාමය නීතිය පසිඳලීමේ ආයතනයක් විදියට නෙමෙයි, දේශපාලන උපකරණයක් හැටියටයි. ඒ නිසා ඔවුන්ගේ විවිධ නියෝග කෝවිඩ් වසංගතය මර්ධනය කිරීමේ අවස්ථාවේදීත්, මාර්ග නීති පිළිබඳ කාරණාවලදීත්, පරිසරය පිළිබඳ කාරණාවලදීත් අද විහිළු බවට පරිවර්ථනය වෙමින් තිබෙනවා.

ඇත්තටම සිංහරාජය මොකක්ද ? සිංහරාජයේ ඇතිවෙච්ච අතීත සිදුවීම් ජාලය කවරක් ද ? මේ ගැන මම මීට කලිනුත් ප්‍රකාශ කරල තියෙනවා. සිංහරාජය කියන්නෙ තෙත් කලාපීය වශයෙන් තියෙන ඉතාම වැදගත්ම වනාන්තරයක්. ජෛව විවිධත්වය ඉතාම අනූන ස්ථානයක් තමයි සිංහරාජය. මේක අතීතයේ ඉඳන් කිසිම ආකාරයකට අතගහපු නැති ඉතාම වැදගත් ඒ වගේම අවුරුදු දශ ලක්ෂ ගණනක් පැවතිච්ච අතිශය වැදගත් ජීව විශේෂ දහස් ගණනක් ජීවත්වෙන ස්ථානයක්. ඒ නිසා මේක ලෝක උරුමයක් හැටියට මුළු ලෝකයම පිළිඅරගෙන තිබෙනවා.

මේ වනය බ්‍රිතාන්‍යයන්ගේ සමයේ වන සංරක්ෂණ පනත යටතේ සංරක්ෂිත වනයක් ලෙස ගැසට් කර තිබුණා. නමුත් 1972 දී එවකට පැවතිච්ච සමඟි පෙරමුණු රජය මේ වනාන්තරයේ තිබුණ විශාල ගස් බිම හෙළල ඒවා ගාල්ල බූස්ස තුනී ලෑලී සංකීර්ණය දෙසටත්, අවිස්සාවේල්ල ශාලාවටත් ගෙනිහිල්ල මේ ගස් වලින් තුනී ලැලි නිපදවීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. මේකට ඒ කාලෙ හිටපු සමාජවාදීන් ප්‍රකාශ කළේ ජනතාවට ගස් තියෙනව මිසක් ගස්වලට ඕන විදියට ජනතාව ජීවත්විය යුතු නෑ යි කියල. අපේ ප්‍රබල වාමාංශික නායකයින් පාර්ලිමේන්තුව දෙවනත් වෙන්න ප්‍රකාශ කළේ ඕක.

මේක බේරගන්න කටයුතු කළේ විදේශිකයෙක්. ඔහු තිලෝ හොප්මාන්. ඔහුගේ මැදිහත්වීමෙන් හා ඔහුගේ බිරිඳ විසින් කළ පර්යේෂණ වලින් මේ වනයේ වටිනාකම ඔහු ලෝකයට කියාදෙන්න ගත්ත. ඒ විතරක් නෙමෙයි, ඔහු ජාත්‍යන්තර ආයතනවලටත් මේ පිළිබඳව දැනුම් දුන්නා. විශේෂයෙන්ම මේ වනය විනාශ කිරීම සඳහා දැව ඉවත්කිරීම සඳහා පැමිණිච්ච කැනේඩියානු සමාගම්වලට, කැනේඩියානු ආණ්ඩුවට මේ පිළිබඳව දැනුවත්වීම් කළා. ඒ නිසා යම් ආකාරයක මහජන උද්ඝෝෂණයක් ඇති වුණා දැනට ජීවතුන් අතර ඉන්න අයිරාංගනී සේරසිංහ මැතිණිය වැනි ඒ කාලයේදී මේ වෙනුවෙන් කැප වෙච්ච සියලු දෙනාටම ඒ සිදුවීම මතක ඇති. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි ජෝර්ජ් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් අනු කමිටුවක් පත් කළා මේ ගැන සොයා බලන්න. හැබැයි එහි වාර්තාව ආණ්ඩුව පෙරලෙන්න කිට්ටු වෙනකම්ම නිකුත් කළේ නෑ, මොකද මේ වන විනාශය සම්බන්ධයෙන්, මේ දැව ඉවත්කිරීම සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත්, සම සමාජ කොමිනිස්ට් නායකයින්ගෙත් දාර්ශනික එකඟතාවයක් පැවතිච්ච නිසා.

කෙසේ නමුත් 1977 දි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පනත යටතේ ජේ.ආර්. ජයවර්ධන මහතා මෙය සංරක්ෂිත වනයක් හැටියට ප්‍රකාශ කළා. නමුත් එය ප්‍රමාණවත් වුණේ නෑ මේ වනය ආරක්ෂා කරගැනීම සඳහා. මොකද හතර අතින් මේ කලාපයේ තේ වතු වවන්න, ජනාවාස ඇති කරන්න, කපන ලද ගස් තිබුණු ප්‍රදේශවල අලුතෙන් මං මාවත් හා ගම්මාන ඉදිකිරීම සඳහා යම් යම් පියවර ගනිමින් තිබුණා. ඒ නිසා තමයි 1988 දි යම් යම් කඹ ඇදීම් මැද්දෙ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි, වනජීවී දෙපාර්තමේන්තුවයි කඹ ඇදීම් මැද්දෙ තමයි මේ කලාපයේ ජාතික උරුම වනභූමි නම් වූ නව පනතක් මගින් 1988 දි ගැසට් කළේ. ඒ ගැසට්ටුවත් පාර්ලිමේන්තුවට දාන්නෙ නැතිව සැලකිය යුතු කාලයක් පමා කළා. මගේ මතකයේ හැටියට මම පරිසර ඇමති වුණාට පස්සෙ තමයි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල එය අනුමත කරගැනීම සඳහා ක්‍රියාකළේ.

කෙසේ නමුත් 2004 දි එවකට පැවතුණු ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත ඇමති හැටියට අනුර යාපා මහතාගේ කාලේ මේ වනාන්තරයට ආශ්‍රිතව තිබුණු තේ වතු, (ඇතැම් තේවතු තරමක් පරණයි බ්‍රිතාන්‍ය යුගයට අයිති) බොහෝ තේවතු ඇතුළු LRC ඉඩම් විශාල ප්‍රමාණයක් සිංහරාජයේ අනුබද්ධ වනාන්තර හැටියට ගැසට් කරල මේ තෙත් කලාපීය වනාන්තරය ආරක්ෂා කරගැනීම සඳහා වතු ලබාදීමේ එකඟතාවයක් ආවා. ඒවායේ මැනුම් කටයුතු කිරීමට විශාල බාධා එල්ල වුණා. වසර ගණනාවක් ගියා ඒවායේ නිවැරදි මැනුම් කටයුතු කරන්න.

කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගත්ත වැදගත් පියවරක් තමයි ඔහුගේ ධුර කාලයේ අවසන් වකවානුවේ 2019 දි මේ සියළු ඉඩම් සිංහරාජයට අනුයුක්ත වනාන්තර හැටියට වන සංරක්ෂණ පනත යටතේ ගැසට් කිරීම. ජාතික පාරිසරික පනත යටතේත් යම් ආරක්ෂාවක් මේ වනාන්තරවලට ලැබෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේ සිදු කරපු ගැසට් නිවේදනයට අනුකූලව 2020 දි තමයි මෙහි GPS ලකුණු කිරීම් කරල නිවැරදිව හඳුනාගෙන තියෙන්නෙ. දැන් බොහෝ දෙනෙක් කියන්නෙ මේ වනාන්තරය අවට තිබුණු LRC ඉඩම් ගැසට් නිවේදනයක් ගැහුවට තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල නැති නිසා මේවා නීත්‍යානුකූල නොවන බව. මේවා නීත්‍යානුකූලද නැද්ද කියන එක පිළිබඳව හොයනවට වඩා ඉතා ඉක්මනින්ම ආණ්ඩුව කළ යුත්තේ මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල නිල දේවල් බවට පත්කිරීමයි.

ජාතික පාරිසරික පනත යටතේ අක්කර දෙකහමාරකට වැඩි භූමි ප්‍රදේශයක යම් සංවර්ධන කටයුත්තක් කරනවනම් ඒව පුද්ගලික වේවා, පරිසර සංවේදී ප්‍රදේශයක සිදුකරන විට ඒ සඳහා පාරිසරික ඇගයීමක් කළ යුතුයි. දැනට කරන හෝටල් සංකීර්ණයට එවැනි කිසිම පාරිසරික ඇගයීමක් සිදුවන්නේ නැති බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා ඒවා පුද්ගලික ඉඩම්වල කරන ඉදිකිරීම් කියල ඉවතලන්න බෑ, මොකද ඒවා අක්කර 2 ½ කට වඩා වැඩි ප්‍රමාණයක නම් තියෙන්නෙ ඒ සඳහා වගකිව යුතුයි. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අනෙක් ආයතවල මැදිහත්වීම තියෙන්න ඕන. අද කණගාටුයි කියන්න, මධ්‍යම පරිසර අධිකාරියත් අද මේ පරිසර ව්‍යසනයේ ප්‍රධාන කොටස්කාරයෙක් බවට පත්වෙලා තිබෙනවා, එහි අලුත් පාලක කණ්ඩායමත් එක්ක.

මේ නිසා අද අපිට පේනවා වනජීවී හා වෘක්ෂලතා පනත යටතේ එය භාර ඇමතිවරයා ගිහිල්ල ගස් කපන තමන්ගේ මැරයින් නිදහස් කරගෙන යනවනම්, රටේ ජනාධිපති ගිහිල්ල රටේ අණතමයි චක්‍රලේඛය කියල වනය වනසන්න, ඒ වගේම කළුගල් වැලි ගොඩදාන්න අවස්ථාව ලබාදෙනවා නම්, පොලීසියට ඒ කිසිකෙනෙක් අල්ලන්න එපා කියල නියෝග දෙනවනම්, පොලිස්පතිවරයා ඒ නියෝග අනුගමනය කරනවනම්, මං හිතන්නෙ මේ රටට යන කලදසාව ගැන අපට ඉතාම කණගාටුයි. මේ මහා වැසි වනාන්තරය විනාශ කිරීමට ඉඩදිය නොහැකියි. ඒ වගේම එය රැක ගැනීම සඳහා ඉදිරිපත් වෙච්ච ඒ දැරිවිය ආරක්ෂා කරගැනීම අප සියලු දෙනාගේම වගකීමක්.

ස්වීඩනයේ දැරිවියක් වන ග්‍රේටා තුම්බර්ග්, අද ලෝකයම ඇයව අගයනවා, ඇය මේ ගෝලීය උණුසුම වැඩිවීමේ ක්‍රියාදාමයට එරෙහිව පාසල් දරුවන් සටන් ක්‍රියාමාර්ගයකට එකතු කිරීම නිසා. අපටත් එවැනි පිරිසක් මේ රට තුළින් අපේ දරු දැරියන් තුළින් බිහිවීමට දැකීම ගැන සතුටුයි.

භාග්‍යා රැකගන්නවා කියන්නේ, මේ සිංහරාජය ඇය වැනි අපේ මතු පරපුරේ දරුවන් වෙනුවෙන් රැකගැනීමයි. ලොස් ඇන්ජලීස්වල තමන්ගේ පවුල් පරම්පරාවල් රඳවා තිබෙන පාලකයින්ට කෙටි කලකට තමන්ට බලය ලැබුණාට මුළු සියවස් ගාණක්, අවුරුදු දස ලක්ෂ ගාණක් පැවතිච්ච අපේ උරුමයන් වැනසීමට ඉඩදිය නොහැකියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *