27 April 2024
#සංවර්ධන

රාජ්‍ය ඇමැති සුදර්ශනී .. හර්ෂට ස්තුතියි කියයි

1990 සුවසැරිය ගිලන්රථ සේවාව හරහා ලංකාව පුරා ග්‍රාමීය ජනතාව වෙත විශාල සේවාවක් ඉටුකිරීමට හැකියාව ලැබී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කලේ මිරිහාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කල 1990 සුවසැරිය පළමු උපපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මොන රජය ආරම්භ කළත් හොද වැඩපිළිවෙල ආරක්ෂා කළ යුතු බවත් එබැවින් සුවසැරිය වැඩපිළිවෙල ව්‍යාප්ත කිරීමට ශක්තිමත් කිරීමට රජයක් හැටියට කැපවෙන බවත් සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය මේ සදහා ආධාර අනුබල දුන් ඉන්දියානු රජයටත්, අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය ජනතාවටත් සිය ස්තුතිය ප්‍රකාශ කල අතර සුවසැරිය වැඩපිළිවෙල ස්ථාපිත කිරීමට මැදිහත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාටද සිය ස්තූතිය මෙහිදී පලකළාය.

සුවසැරිය කාර්ය මණ්ඩලයේ රෝගී සත්කාරය විශිෂ්ඨ කාර්ය භාර්ය කෙටිකාළයක් තුළ රෝගියා රෝහල් ගත කිරීමට, රෝගියාගේ ජීවිතය ආරක්ෂා කිරීමට මෙන්ම කොවිඩ් 19 මැඩලීමේ සටනේදී බය නැතිව එම රෝගීන් ප්‍රවාහන කිරීමට දැක්වූ දායකත්වය, සහයෝගය අගය කරන බවත් අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී සදහන් කලාය.

1990 සුවසැරිය ගිලන්රථ සේවයට මේවන විට ලක්ෂ 35කට වැඩි දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇති අතර දිනකට 5000කට අධික දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබේ. 780,000කට වඩා වැඩි ප්‍රමාණයකට සේවාව සපයා ඇති අතර දිනකට 1000කට වඩා වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කිරීමට දායකවේ. 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය 1394ක් සිටින අතර ගිලන් රථ 297කින් යුක්තය. ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි සේවය සපයනු ලබන අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සුවසැරිය ගිලන් රථ සේවය ඩොලර් මිලියන 22ක ඉන්දියානු ආධාර මත ආරම්භ කළ ව්‍යාපෘතියක් වන මෙය ජනතාවට නොමිලේ සේවාව සපයනු ලබන අතර අදවන විට සම්පූර්ණයෙන්ම රජයේ මුදලින් නඩත්තු වන ආයතනයකි.

1990 සුවසැරිය ගිලන්රථ සේවයේ පළමු උපපොල මිරිහාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටුවා ඇති අතර එහි ගිලන්රථය නවතා තැබීමට ස්ථානයක්, කාර්ය මණ්ඩලයට විවේක ගැනීමට ස්ථානයක්, ඔක්සිජන් ඇතුළු වෛද්‍ය උපකරණ ගබඩා කිරීමට ස්ථානයක් ආදී කටයුතු සදහා ඉඩපහසුකම් සකස්කර ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, සුවසැරිය සභාපති දුමින්ද රත්නායක, සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා ඇතුලු පිරිසක් සහභාගීවිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *