දරුවන් ආහාර අහේනියෙන් පෙළෙන බවට අතිශයෝක්තියෙන් හුවාදැක්වීම පිටුපස ඇත්තේ දේශපාලන උවමනාවක් බව අනුර දිසානායක මහත්තයාගේ කටින්ම ඒක එළියට එනවා තමා දැක්ක බව ජාතින නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා “ඇමරිකා එක්සත් ජනපදයේ මාධ්‍යවේදියෙකු සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා, ඩොලරයට සාපේක්ෂව දේශීය මුදල අවප්‍රමාණය වීමේ ලොව තුන්වැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව. වත්මන් ආර්ථික අර්බුදයත් මෙරට මූල්‍ය කළමනාකරණයේ ඇති අවුල් සහගත තත්ත්වයත් තීන්දු තීරණ ගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් යන සියල්ලේ තර්කානුකූල ප්‍රතිඵලය ලෙසයි මෙවැනි ඉරණමකට අපි මුහුණ පා ඇත්තේ. කළු මුදල් වෙළෙඳපොළ පාලනයකින් තොරව, විදේශ සංචිත අවම අවස්ථාවක, රුපියල පා කිරීමට ගත්තු තීරණය විසින් මෙසේ ඩොලරයට සාපේක්ෂව දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය වීමේ ලොව තුන්වැනි තැන අපට ලැබී තිබෙනවා. අපි අහනවා මේ තීරණ ගැනීමට උපදෙස් දුන්නු අය, තීරණ ගත්ත නිලධාරීන් එහි වගකීම ගන්නවාද, කියා.
ජාතික නිදහස් පෙරමුණ ඇතුළු උත්තර ලංකා සභාගය නියෝජනය කරන දේශපාලන පක්ෂ දිගින් දිගටම පෙන්වා දුන්නා මෙරට ආර්ථිකයෙහි සිදුව ඇති කඩාවැටීම විශේෂයෙන් 2009න් පසුව සිදුවූ ආර්ථික කඩාවැටීම සොයන්න පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව. 2009න් පසුව ත්‍රස්තවාදයේ බලපෑමකින් තොරව ආර්ථිකය ගොඩනැගීමට අවස්ථාව ලැබුණා. ඒ නිසා 2009න් පසු ආර්ථිකය සම්බන්ධයෙන් ගත්තු තීරණ, මහ බැංකුව විසින් ගත්තු තීරණ, ගනු ලැබූ ණය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකළහොත් පමණයි අපට වැරදුණු තැන නිවැරදිව සොයා ගන්න හැකි වන්නේ. එය කළ හැක්කේ ඉහත කී ජනාධිපති කොමිසම මගිනුයි. මෙවැනි ක්‍රියාමාර්ගයකින් තොරව අඳුරේ අතපත ගෑවාට විසඳුමක් ලැබෙයි කියා අප සිතන්නේ නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට මැදිහත් වී සිටින්නේ කොන්දේසි ගණනාවක් සමගිනි. සමහර කොන්දේසි ආණ්ඩුව දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉදිරියේදී තවත් කොන්දේසි ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නමැති ‘බිල්ලා’ දිහා බලා සිටිනවා හැර, අපට රටක් ලෙස කළ හැකි අවම දේ ‘ණය හිමියන්ගේ සමුළුවක්’ රට තුළ පැවැත්වීමටවත් ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බෙහෙත් නොදී ලෙඩේ ගැන කියමින් සිටින බවයි පෙනෙන්නේ. කඩිනම් ප්‍රතිකාර වෙනුවට මාසයකට ඩොලර් මිලියන 60ක් ලබාදීමේ ප්‍රතිකර්මයක් තමයි අපට පෙනෙන්න තිබෙන්නේ. නමුත් ලංකාවේ වියදම දවසකට ඩොලර් මිලියන 40ක්. ‘දවසකට ඩොලර් මිලියන 40ක් වියදම් කරන රටකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මාසිකව ඩොලර් මිලියන 60ක ප්‍රදානයක් රැගෙන මේ ආර්ථික ආපදාවෙන් ගොඩඒමට පුළුවන්ද?’ කියන එක ප්‍රශ්නයක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා පිළිබඳව ජනතාව සමග සංවාදයක් නොමැතිව යන ආණ්ඩුව, එහි කොන්දේසි ක්‍රියාත්මක කිරීමත් සමග මතුවිය හැකි සමාජ විරෝධය මර්දනයට නම් කල්තියා සූදානම් වෙන බවයි පෙනෙන්නේ. නිදසුනක් ලෙස ‘නව අධිආරක්ෂිත කලාප නම් කිරීම’ එවැන්නක්. මේ අධිආරක්ෂිත කලාප නම් කිරීම එක අතකින් විහිළුවක්. දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු ප්‍රමාණවත් නීති තිබියදී තමයි මෙවැන්නක් සිදු කළේ. රාජ්‍ය ආයතන ඇතුළට රිංගද්දි ඒවා සාධාරණීකරණය කරපු, ජනාධිපතිවරුන්ගේ ගෙවල්වලට ගල් ගහලා, ගිනි තියලා ආපු අයට අත්පුඩි ගහලා අධිකරණයේදී පිළිගත්තු නීතිඥ සංගමය මේ අධිආරක්ෂිත කලාප නම් කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කිරීම පමණයි සිදුකර ඇත්තේ. දැන් මේ නීතිඥ සංගමයත් හරි අපූරු විදිහට වෙනස් වෙලා තිබෙනවා. නීතිඥ සංගමය නටවන නූල් ඇත්තේ කොහෙද කියා දැන් කාටත් හොඳට පෙනෙනවා.
ඒ කෙසේ වෙතත් මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම උද්ඝෝෂකයන් තම සීමාව නිවැරදිව දැනගත යුතුයි. අධිකරණ නියෝගවලට අවනත වීම රාජ්‍ය දේපළවලට හානි නොකිරීම වැනි සීමා දැකගත යුතුයි. ගොවියා, කම්කරුවා, කර්මාන්තකරුවා තම ඇත්ත වේදනාව වෙනුවෙන් විරෝධතාවන්ට එළඹෙන විට ඒවා තම පටු දේශපාලනික උවමනාවන් වෙනුවෙන් යොදාගත්තු කල්ලි කණ්ඩායම් සිටින බව අපි දන්නවා. මේ නිසා ගොවියාට, කම්කරුවාට තමන්ගේ සාධාරණ ප්‍රශ්නවලට පිළියම් වෙනුවට හිරේ විලංගුවේ වැටෙන්න සිදුව තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, ‘රාජ්‍ය බිඳවැට්ටවීමට උත්සාහ කරන, රට අස්ථාවර කිරීමට සැරසෙන කුමන්ත්‍රණකාරී පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළාට ඇත්තෙන්ම සමාජ පීඩනය වෙනුවෙන් විරෝධතාවල නිරත පිරිස්වලට අත තියන්න ලෑස්ති වෙන්න එපා!’කියා.
මේ රටේ මහා ආහාර අර්බුදයක් තිබෙන බව කියමින් ඊට මානුෂවාදී පිළියම් යෙදීමට දැන් ඇතැමුන් සැරසෙන බව පෙනෙනවා. අපේ සමාජය තුළ ජනතාව පීඩාවට පත්ව සිටිනවා. දිළිදුම ජනතාව මත අතිරේක පීඩනයක් ඇතිව තිබෙනවා. මේ ආර්ථික අර්බුදය ඇතුළේ එවැන්නක් සිදුව ඇති බව අප පිළිගන්නවා. නමුත් මේ මහා ආහාර අර්බුදයක් ගැන කතා කරන පිරිස මේ තත්ත්වය අතිශයෝක්තියෙන් හුවා දක්වන පිරිසක්. ඔවුන් තුළ ඇත්තේ මේ සමාජ පීඩනයට පිළියම් යෙදීම නොවෙයි, ඔවුනට තුළ ඇත්තේ ‘සාගත කැරලි’ ඇති කිරීමේ දේශපාලන උවමනාවක්. පාසල් දරුවන් 40 ලක්ෂයක් ඉන්න රටක දරුවන් ආහාර අහේනියෙන් පෙළෙන බවට අතිශයෝක්තියෙන් හුවාදැක්වීම පිටුපස ඇත්තේ දේශපාලන උවමනාවක්. අනුර දිසානායක මහත්තයාගේ කටින්ම ඒක එළියට එනවා මම දැක්කා, ‘අනාගතයේදී බඩගින්නෙ ඉන්න ජනතාව පාරට බහිනවා. අපි ඔවුන්ට නායකත්වය දෙන්න සූදානම්’ යනුවෙන්. පසුගිය දා ඇමෙරිකානු නියෝජිත සමන්තා පවර් හමු වූ දේශපාලන පක්ෂ දැන් ඔවුන්ගේ ‘අලුත් අරගලය:ආහාර අරගලයට’ මූල බීජ හිටවනවා. ආණ්ඩුව මේ තත්ත්වය හමුවේ නිද්‍රාශීලීව නොසිට ජනතා පීඩනයට පිළියම් යෙදිය යුතුයි. කල්මරමින් නොසිට දරුවන්ට පාන් පිටි නොකවා පෝෂණය සහිත විකල්ප වලට යා යුතුයි”මුසම්මිල් මහතා වැඩිදුරටත් එසේ අදහස් පල කලේය.