ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන සැප්තැම්බර් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකාර නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල පූර්ණ සහයෝගය ඇතිව මෙම විමර්ශනය අවසන් අදියරට පැමිණ ඇති බවයි. එක් ගුවන් යානයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1 බැගින් අල්ලස් ලබා ගැනීමට ගිවිසගෙන ඇති බවත්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුම හරහා නිමල් පෙරේරාට අයත් සිංගප්පූරු සමාගම් ගිණුමකට මුදල් ලැබී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී ඇත. ඕස්ට්‍රේලියාවේ පදිංචි නිමල් පෙරේරා ලබා දුන් දිවුරුම් ප්‍රකාශයකින් අදාළ මුදල නාමල් රාජපක්ෂ වෙත භාර දුන් බවට තොරතුරු අනාවරණය වී ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් සාක්ෂිකරු වන නිමල් පෙරේරාගේ ප්‍රකාශවල පවතින පරස්පරතා පෙන්වා දෙමින් ඇප ඉල්ලා සිටියද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සාක්ෂිකරුවෙකුගේ විශ්වසනීයත්වය නඩු විභාගයකදී මිම්මක් ලෙස මෙලෙස මූලික අවස්ථාවකදී තීරණය කළ නොහැකි බවත්, දූෂණ විරෝධී පනත යටතේ විශේෂ කරුණු තහවුරු වී නොමැති බැවින් සැකකරුට ඇප ලබාදීමට පදනමක් නොමැති බවත්ය.














