විදේශ මුදල් තැන්පතු විශාල වශයෙන් ඉන්දීය බැංකු පද්ධතිය වෙත ගලා ඒම හේතුවෙන් එරට බැංකු පද්ධතියේ භාවිතයට පවතින අතිරික්ත ද්‍රවශීලතාව ඉතිහාසයේ ඉහළම මට්ටමට ළඟා වී තිබෙනවා. සැප්තැම්බර් 3 වනවිට එම අතිරික්තය ඉන්දීය රුපියල් ට්‍රිලියන 9.7ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 102.7කට ආසන්න බව Reuters වාර්තා කර තිබෙනවා.
මෙය කොවිඩ් වසංගතයෙන් පසු 2021 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ රුපියල් ට්‍රිලියන 9.2ක පෙර වාර්තාවද ඉක්මවා යාමක්. ඉන්දීය සංචිත බැංකුව හඳුන්වාදුන් විශේෂ ක්‍රමවේදයක් යටතේ විදේශගත ඉන්දියානුවන්ගෙන් බැංකු විසින් ඩොලර් බිලියන 127.23ක විදේශ මුදල් තැන්පතු රැස්කර ඇති අතර, එම මුදල්වලින් සැලකිය යුතු කොටසක් සංචිත බැංකුව සමඟ රුපියල්වලට හුවමාරු කර තිබීම ද්‍රවශීලතාව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව සඳහන්.
මෙම අතිරික්ත මුදල් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ පොලී අනුපාත පාලනය සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඉන්දීය සංචිත බැංකුවට වෙළෙඳපොළ තුළින් අතිරික්ත ද්‍රවශීලතාව ඉවත් කිරීමට විවිධ මූල්‍ය මෙවලම් භාවිත කිරීමට සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.














