ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ නැගෙනහිර 28 වන වීදියේ (East 28th Street) පිහිටි 63 මැඩිසන් මාවත අසල හෝල් ෆුඩ්ස් (Whole Foods) වෙළඳසැල ඉදිරිපිට ඊයේ (30) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. ඊයේ දහවල් 12:30ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා මේ වන විට බෙල්වීව් (Bellevue) රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවේ. නිව්යෝර්ක් පොලිසිය (NYPD) වහාම ප්‍රදේශය වටලා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මැඩිසන් ස්කවෙයාර් උද්‍යානය (Madison Square Park) අවට පොලිස් ආරක්ෂාව තර කර ඇත.
කළු පැහැති බැක්පැක් (Backpack) එකක් පැළඳ සිටි සැකකරුවෙකු වෙඩි තැබීමෙන් පසු මැඩිසන් මාවත ඔස්සේ පලා ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වේ. සිද්ධිය වූ ස්ථානය පොලිස් පටි යොදා තහනම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර වීඩියෝ දර්ශන මඟින් ප්‍රදේශය පුරා විශාල පොලිස් රථ සංඛ්‍යාවක් රැඳී සිටින අයුරු දැකගත හැකිය. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රදේශවාසීන්ට විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.














