27 April 2024
#දේශීය

චීනයෙන් ප්‍රදානය කළ P6 25 නෞකාව අධිකාරියට පත් කෙරේ (ඡායාරූප සහිතයි)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් චීන රජය මගීන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් P6 25 නෞකාව අද (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කෙරිණි.

එහි අභිනව නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් නලීන්ද්‍ර ජයසිංහ මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

“ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112ක් සහ පළලින් මීටර් 12.4ක් වන අතර, එහි ධාරිතාව ටොන් 2300ක් වේ. නෞකාවේ නිලධාරින් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි. එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයීම සදහා යොදා ගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ යන මහත්වරුන් ද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් සහ හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ද, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චේන්ග් සුයුවාන් මහතා ඇතුළු ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

 

ඡායාරූප – ලලිත්

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *