වසර 20කට ආසන්න කාලයකට පසු ගාසා තීරයේ නගරයක් ද ඇතුළත් කර ගනිමින් පවත්වනු ලැබූ පලස්තීන පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මහමුද් අබ්බාස්ගේ (Fatah) හිතවාදීන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වී තිබේ.
මෙවර මැතිවරණයේ සුවිශේෂීත්වය වන්නේ 2006 වසරෙන් පසු ප්‍රථම වතාවට හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයේ නගරයක් වන ‘ඩීර් අල්-බාලා’ (Deir al-Balah) සඳහා ද ඡන්ද විමසීමක් පැවැත්වීමයි. ගාසා යුද්ධය ආරම්භ වී වසර දෙකකට වැඩි කාලයකට පසු පැවැති පළමු මැතිවරණය ද මෙය වේ.
මැතිවරණ නිලධාරීන්ට අනුව බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණි. කෙසේ වෙතත්, අබ්බාස්ගේ පක්ෂය ලැබූ මෙම ජයග්‍රහණය ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය දිනා ගැනීමට ගත් උත්සාහයක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.
ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් මුස්තාෆා මහතා සඳහන් කළේ, මෙය ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතය ශක්තිමත් කිරීමට සහ මව්බිමේ ඒකීයභාවය ළඟා කර ගැනීම සඳහා ගනු ලැබූ වැදගත් පළමු පියවරක් බවයි. ඉතා සංකීර්ණ සහ අභියෝගාත්මක අවස්ථාවක මෙම මැතිවරණය පැවැත්වීමට හැකිවීම ජයග්‍රහණයක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම මැතිවරණය හරහා ගාසා තීරය යනු අනාගත පලස්තීන රාජ්‍යයක වෙන් කළ නොහැකි කොටසක් බව ලෝකයට පෙන්වීමට පලස්තීන පාලනාධිකාරිය උත්සාහ කර තිබේ.














