පසුගියදා වාද්දුව ප්‍රදේශයේදී පිලී පැනීමට ලක්වූ ‘සාගරිකා’ ශීඝ්‍රගාමී දුම්රිය අද (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය 24 වනදා බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ මෙම දුම්රියේ මැදිරි 13න් 11ක්ම පිලී පැනීමට ලක්වීමෙන් දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. දුම්රිය ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතා සඳහන් කළේ අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් පසු අද සිට දුම්රිය ධාවනයට එක් කළ බවයි.
කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් වනතුරු එම දුම්රියේ සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු ධාවන කටයුතුවලින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක සහ උප නියාමකවරයා මෙලෙස සේවයෙන් ඉවත් කර ඇති අතර විමර්ශන වාර්තාව ලැබෙන තෙක් ඔවුන් සේවයේ යොදවා නොගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.














