මෙරටට ආනයනය කරන බාල ගල්අඟුරු හේතුවෙන් රජයට එක් නැවකින් රුපියල් කෝටි 90ක පාඩුවක් සිදුවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. බාල ප්‍රමිතිය නිසා මෙගාවොට් 300ක් වෙනුවට ලැබෙන්නේ මෙගාවොට් 238ක් පමණක් වුවත්, මෙම ගල්අඟුරු නියමිත ප්‍රමිතියට අනුකූල බව ලංකා කෝල් සමාගම සහතික කර ඇති බැවින් සැපයුම්කරුගෙන් දඩ අය කර ගැනීමට ඇති නීතිමය අවස්ථාව ඇහිරී ඇති බව ඔහු පෙන්වා දෙයි. අප්‍රේල් 1 දා සිට විදුලි ගාස්තු 5%කින් වැඩි කිරීමට රජය සූදානම් වන්නේ මෙම අකාර්යක්ෂමතාවයේ පාඩුව ජනතාව මත පැටවීමට බවත්, මෙම ගනුදෙනුව පිටුපස මුදල් විශුද්ධිකරණයට ප්‍රසිද්ධ ‘මේටයිඩන්’ සමාගම සිටින බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.














