යාපහුව රාජධානි සමයට අයත් පොල්පිතිගම පිහිටි ඓතිහාසික නයින්දනාව රජ මහා විහාරස්ථානයේ ඇති නයි පෙණ හත සහිත රුව ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රචලිත වුවහොත්, එහි ඇති වටිනාකම මහජනතාවට සිතා ගැනීමටවත් නොහැකි තරම් ඉහළ වටිනාකමක් ගනු ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශ කළේය.
‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ නයින්දනාව පුරාණ ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය සහ සංරක්ෂණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමේ මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් 3,878,663.20ක ඇස්තමේන්තුගත මුදලක් වෙන් කර තිබේ.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ද එක්විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, බොහෝ දෙනා වටිනාකම ඇති ඓතිහාසික ස්ථාන පසුකර ගියද ඒවා ගැන දැනුවත් නැති බවත්, එම ස්ථාන මතු කර අනාගත පරපුර උදෙසා දායාද කිරීම රජයේ අරමුණ බවත් පෙන්වා දුන්නේය. පසුගිය දිනවල පැවති ‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ආගමික සිද්ධස්ථාන 1350කට ආසන්න සංඛ්‍යාවක් සඳහා රජය මගින් වන්දි ලබා දී ඇති අතර, ජනතා බදු මුදල් උපරිමයෙන් භාවිතා කරමින් ග්‍රාමීය පන්සල්වල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. තවද, යල් පැන ගිය පුරාවිද්‍යා සහ සංස්කෘතික අරමුදල් පනත් සංශෝධනය කර, සියලු ආයතන ඒකාබද්ධව සමස්ත සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ යාපහුව රාජධානියේ ශ්‍රී විභූතිය ඉස්මතු වන ලෙස දැවැන්ත සංවර්ධනයකට මුල පුරන බවයි. එහිදී ඉදිකරන නව කෞතුකාගාරය තුළ නයින්දනාවේ ඇති ඓතිහාසික වටිනාකම සංචාරකයන්ට දැක බලා ගැනීමට හැකි වන පරිදි පහසුකම් සලසන බවත්, එමගින් එම ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය දියුණු වී ආර්ථික ප්‍රතිලාභ ලැබෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














