27 April 2024
#දේශීය

රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීමට සූදානම් -මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැනට රාජ්‍ය සේවය නියුතු උපාධිධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අදාළ දෙපාර්තමේන්තුවල සේවා ව්‍යාවස්ථා උල්ලංඝනය නොවන පරිදි කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව පවත්වන තරග විභාගයක් මගින් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට අපේක්ෂිත බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගු දෙපාර්මේන්තුවේ දැනට පුරප්පාඩු 773ක් පවතින අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 434කි. සුරා බදු දෙපාර්තමේන්තුවේ ද පුරප්පාඩු 331ක් පවතී. විශ්‍රාම යාමේ වයස 65 සිට 60 දක්වා අඩු කිරීමත් සමග මෙම දෙසැම්බර් මස 31 වැනිදා වන විට අදාළ දෙපාර්තමේන්තු තුනේ ඉතා පළපුරුදු තවත් නිලධාරීන් පිරිසක් විශ්‍රාම යාමට නියමිත ය.

පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයට අලුතින් පත්වීම් ලබා නොදෙන අතර දැනට රාජ්‍ය සේවයේ නියුතු දක්ෂ උපාධිධාරීන් වෙනුවෙන් එම අවස්ථාව ලබා දීම රජයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *