අලි-මිනිස් ගැටුමට තිරසර විසඳුමක් අවශ්ය බවත්, අලින්ට ජීවත් වීමට කැලෑව සහ ජනතාවට කෘෂිකර්මාන්තය කරගෙන යාමට අවස්ථාවක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
දින ගණනක් පුරා රෝගාතුරුව සිටියදී සියඹලාන්ගමුව ප්රදේශයේ වෙල් යායක ඇද වැටී සිටින ‘කාවන්තිස්ස’ ඇතාගේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය. ජනතාව මෙන්ම වඳ වී යන ඇත් පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂිත සංරක්ෂිත වැඩපිළිවෙළක් සහ ඇතුන් සංරක්ෂණය කිරීමේ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා, වනජීවී දෙපාර්තමේන්තුව සහ පශු වෛද්යවරුන් ඇතුළු සියලු දෙනා ඇතා බේරා ගැනීමට ඉටු කරන සේවය අගය කළේය. ප්රතිකාරවලින් ඔබ්බට ගිය අලි-මිනිස් ගැටුම අවම කරන ජාතික වැඩපිළිවෙළක් ක්රියාත්මක කළ යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















