රජයේ ක්‍රියාකලාපයට එරෙහිව සමගි ජන බලවේගය (SJB) විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (10) පෙරවරුවේ බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී ආරම්භ විය. මෙම විරෝධතාවය හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය පොලිසිය විසින් වසා දැමීමට පියවර ගත් අතර, මේ හේතුවෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතාවයට පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂ ද සිල්වා, මුජිබර් රහුමාන්, තලතා අතුකෝරල සහ චමින්ද්‍රානි කිරිඇල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්ව සිටිති. මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම සහ ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්වෙන අතර, උත්සව සමය තුළ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය පිළිබඳව ද මෙහිදී විරෝධතාකරුවන් සිය හඬ අවදි කළහ.














