මැදපෙරදිග කලාපයේ ඉන්ධන නිධි ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරාත්මක තත්ත්වයන් හමුවේ දැඩි ලෙස ඉහළ ගිය ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගනුදෙනු අවසානයේදී සුළු වශයෙන් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (මාර්තු 19) රාත්‍රියේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 119 දක්වා ඉහළ අගයක් වාර්තා කළ ද, මේ වන විට එම මිල මට්ටම්වල ලිහිල් වීමක් දක්නට ලැබේ.
ඉරානය එල්ල කළ ප්‍රහාර හමුවේ ඇති වූ සැපයුම් අවදානම හේතුවෙන් බොරතෙල් මිල වේගයෙන් ඉහළ ගිය නමුත්, වෙළඳපොළ ගනුදෙනු අවසානයේදී බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 106.4ක් ලෙස සටහන් විය. එමෙන්ම ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.59ක් දක්වා සුළු පහළ යෑමක් පෙන්නුම් කරයි.
ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ මෙලෙස බොරතෙල් මිල උච්චාවචනය වීම ශ්‍රී ලංකාව වැනි රටවල බලශක්ති පිරිවැයට සෘජු බලපෑමක් එල්ල කරන අතර, මැදපෙරදිග යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න වුවහොත් මිල ගණන් යළි ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.














