ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2026 තරගාවලිය සඳහා සහභාගී වීමට අවසර ඉල්ලා ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට අදාළ ‘විරුද්ධත්වයක් නොමැති සහතිකය’ (NOC) නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනිවාර්ය කායික ක්‍රියාකාරිත්ව පරීක්ෂණයෙන් (Physical Performance Test) සමත්වීමෙන් පසුව පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය අද (20) නිවේදනය කළේය. ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නැංවීමේ අරමුණින් සති අටක විශේෂ පුහුණු වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ.
ඒ අනුව, දැනටමත් සිය කායික යෝග්‍යතා පරීක්ෂණ සාර්ථකව නිම කර ඇති දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයින් තිදෙනාට පමණක් IPL තරගාවලියට සහභාගී වීම සඳහා NOC සහතික නිකුත් කර ඇත. නුවන් තුෂාරගේ සහභාගීත්වය ඔහුගේ ඉදිරි පරීක්ෂණ ප්‍රතිඵලය මත තීරණය වනු ඇති අතර, ආබාධවලට ලක්ව පුනරුත්ථාපන කටයුතුවල නිරත වන වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ ඒෂාන් මාලිංග යන ක්‍රීඩකයින් සුවය ලැබූ පසුව එම පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතුය.














