ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් 60 දෙනෙකු සඳහා විශේෂිත පුහුණු වැඩසටහනක් ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර MCR මානව සම්පත් සංවර්ධන අධ්‍යයන අංශයේදී පසුගියදා සාර්ථකව නිම කෙරුණි. සාමාජිකයන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ පළමු අදියර ජනවාරි 26 සිට 31 දක්වාත්, දෙවන අදියර පෙබරවාරි 16 සිට 21 දක්වාත් පැවැත්විණි.
වේගයෙන් වෙනස් වන ගෝලීය මාධ්‍ය ප්‍රවණතා හමුවේ මුද්‍රිත, විද්‍යුත්, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය යන අංශයන්හි වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ විය. ඉන්දීය රජය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන හරහා නවීන මාධ්‍ය තාක්ෂණය, යහපාලන සන්නිවේදනය, මාධ්‍ය සදාචාරය මෙන්ම මාධ්‍යකරණය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරන ආකාරය පිළිබඳව ද පුළුල් දැනුමක් ලබා දී ඇත. න්‍යායාත්මක දැනුමට අමතරව හයිද්‍රාබාද්හි ඓතිහාසික චාර්මිනාර් ස්මාරකය, T-Hub නව නිපැයුම් මධ්‍යස්ථානය සහ බෞද්ධ උරුමයන් නැරඹීමේ ක්ෂේත්‍ර චාරිකා ද මීට ඇතුළත් විය.
මෙම පුහුණු අවස්ථාව හිමිවූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2025 වසරේ ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර ඇති කරගත් එකඟතාවයකට අනුවය. එම එකඟතාවය පරිදි ශ්‍රී ලාංකික වෘත්තිකයන් 1,000කට වාර්ෂිකව ඉන්දියාවේදී පුහුණු අවස්ථා ලබා දීමට නියමිත අතර, මෙම මාධ්‍ය පුහුණුව එහි වැදගත් අදියරකි.














