ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනයක් මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (11) ලොස් බැනෝස් හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ (IRRI) ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය. එහිදී ඇය එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් යොන් පින්ටෝ (Yvonne Pinto) මහත්මිය හමු වී ශ්‍රී ලංකාවේ වී වගාවේ සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළාය.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලාංකීය වී ගොවීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ අතර, විශේෂයෙන්ම දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නව වී ප්‍රභේද හඳුන්වා දීම සහ නවීන තාක්ෂණය ගොවි ජනතාව වෙත සමීප කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා IRRI ආයතනයේ ගෝලීය පර්යේෂණ අත්දැකීම් සහ තාක්ෂණික දායකත්වය මෙරටට ලබා ගැනීමට ද මෙහිදී එකඟතාව පළ කෙරිණි.
මීට අමතරව, මෙරට කෘෂිකාර්මික ආයතනවල ධාරිතාව වර්ධනය කිරීම, පර්යේෂණ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳව ද දෙපාර්ශවයේ අවධානය යොමු විය. විද්‍යාත්මක පදනමක් සහිත මෙවැනි ජාත්‍යන්තර සහයෝගිතාවන් හරහා මෙරට ගොවි ජනතාවගේ ජීවනෝපාය නංවාලීමටත්, ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.














