හදිසි මිලදී ගැනීම් යටතේ මෙරටට ගෙන්වන ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා සාමාන්‍ය මිලට වඩා ඇමෙරිකානු ඩොලර් 30ක අතිරේක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. අවශ්‍ය ගල් අඟුරු තොග නිසි කලට ප්‍රසම්පාදනය කර ගැනීමට අපොහොසත් වීම නිසා ඇති වූ ප්‍රමාදය හේතුවෙන්, මෙලෙස හදිසි පදනම මත නෞකා පහක් ගෙන්වීමට පියවර ගෙන ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම ගල් අඟුරු සැපයුම් කොන්ත්‍රාත්තුව හේලීස් (Hayleys) සමාගම විසින් දිනාගෙන ඇති අතර, එක මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 30 බැගින් වැඩිපුර ගෙවීමට සිදුවීම විදුලිබල මණ්ඩලයට දරාගත නොහැකි බරක් වනු ඇති බව මරික්කාර් මහතා පැවසීය. “මෙහෙම ගියොත් එක්කෝ කරන්ට් කපන්න ඕනේ, නැත්නම් විදුලි ගාස්තු වැඩි කරන්න ඕනේ. අපි කරන්ට් කපනවට කොහොමටවත් කැමති නැහැ,” යනුවෙන් පවසමින් ඔහු රජයේ කළමනාකරණ දුර්වලතාවය දැඩි ලෙස විවේචනය කළේය.
මෙම ගනුදෙනුව මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම දූෂණයක් සහ නාස්තියක් ලෙස හඳුන්වා දුන් මන්ත්‍රීවරයා, මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් අනාගතයේදී වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවනු ඇති බවට ද අනතුරු ඇඟවීය. හේලීස් සමාගම සිය සන්නාම නාමය රැකගැනීම වෙනුවෙන් ගුණාත්මක ගල් අඟුරු ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන නමුත්, මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිටුපස ඇති දූෂණය පිළිබඳව රජය වගකිව යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














