පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතා කඩකළ බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කළ දිවයින පුරා රෝහල් වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ. පවතින පත්වීම් ලැයිස්තුව වහාම අවලංගු කරන තෙක් වර්ජනය අත්නොහරින බව වෛද්‍ය සංගමය පවසන අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විටත් ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන් ගැටලුව තවදුරටත් උග්‍ර වී ඇත.
මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක බාහිර රෝගී අංශ සහ සායනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති අතර, ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති. කෙසේ වෙතත්, හදිසි ප්‍රතිකාර සේවා, මාතෘ රෝහල්, ළමා රෝහල් සහ පිළිකා රෝහල්වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව එම සංගමය සඳහන් කරයි. ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.














