ඉරාන නාවිකයන් සිය රටට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට සහ ජාත්‍යන්තර නීති රාමුවට අනුකූලව බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි. නවදිල්ලියේ පැවැත්වෙන රයිසිනා සංවාදයේදී (Raisina Dialogue) නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර, අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ගිලී ගිය ‘IRIS Dena’ නෞකාවෙන් බේරාගත් නාවිකයන් 32 දෙනා ඉරානයට භාර නොදෙන ලෙස අමෙරිකානු රජය ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. පසුගිය බදාදා ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී සිදු වූ මෙම ප්‍රහාරයෙන් පසු දිවි බේරාගත් පිරිස මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
මීට අමතරව, ‘මිලාන් 2026’ යුද අභ්‍යාසයට සහභාගී වී යළි පැමිණෙමින් තිබූ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි 204 දෙනෙකු ද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන කොළඹ වරායට රැගෙන එනු ලැබීය. ඔවුන් මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටින අතර, මෙම නාවිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගන්නා ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික පියවර දෙස ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව පවතී.














