27 July 2024
#සංවර්ධන

දෙපයින් නැගිටින අයට ශක්තියක් දෙන්න එන්ටප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා සුදානම්

ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය සොයා ගැනීමට නොහැකිව සිටින පිරිස්වලට ශක්තියක් ලබා දීමට එන්ටප්‍රයිසස් ශ‍්‍රී ලංකා යෝජනා ක‍්‍රමය හඳුන්වා දී ඇති අතර දෙපයින් නැඟී සිටින අයට ශක්තියක් ලබා දීමට රජය සුදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය කෑගල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති අචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජය මගින් හඳුන්වාදෙන, එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමය දියත් කිරීම වෙනුවෙන් පසුගියදා (08) බුලත්කොහුපිටිය, යටියන්තොට සහ ගෝනගල්දෙනිය යන ප‍්‍රදේශයන්ගේ මහජන බැංකු සහ ලංකා බැංකු ශාඛාවල පැවති උත්සව අවස්ථාවන්ට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා “මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙන්නේ මහජන බැංකුව සමග ඒකාබද්ධ වෙලා. මහජන බැංකුව හැදුවෙම මේ රටේ සමස්ත පොදු ජනතාවගේ බැංකුව හැටියට. ඊට කළින් විවිධ බැංකු තිබුණා. හැබැයි ජනතාවට ඒවාට ගොඩවෙන්නේවත් නැහැ.ඔවුන් තුළ එක එක කුතුහලයන් පැවතුණා. නමුත් මහජන බැංකුව පුංචි මිනිස්සුන්ගේ බැංකුව හැටියට. ඒනිසාම තමයි මේ එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ අවම පොලියක් සහ අවම ඇප ක‍්‍රමයක් මත මහජනතාවට පහසු ආකාරයෙන් ණය ලබාදෙන්න යන්නේ. මෙම වඩසටහන යටතේ සමහර ණය වල පොලිය බින්දුවයි. අපේ ඉන්න පුරවැසියන්ගෙන් ඕනෑම කෙනෙක්ට මෙම යෝජනා ක‍්‍රමය යටතේ තමන්ට ගැලපෙන ණයක් ලබාගැනීමේ හැකියාව පවතිනවා. උදාහරණයක් හැටියට අපේ ත‍්‍රීවිල් හිමිකරුවන්ට මීටරය ලබාගැනීම වෙුනවෙන් ලබාදෙන රු. 20000 ණය ක‍්‍රමයෙන් ආරම්භ වී රු. කෝටි හැත්තෑපහක් දක්වා මෙම ණය පරාසය විහිදිලා තිබෙනවා. අපි උත්සාහ කරන්නේ මෙම ණය යෝජනා ක‍්‍රමය ජනතාව අතරට වඩාත් ඉක්මණින් ගෙනයන්න. ඒ සඳහා බැංකුවේ කැපවීමත් විශාල වශයෙන් බලපානවා. මම විශ්වාස කරනවා මහජන බැංකුවට ඒ කැපවීම සහ උනන්දුව උපරිමයෙන් තිබෙනවා කියලා” යැයි පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *