වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා වූ “ප්‍රාදේශීය මෙහෙයුම් සභා” පිහිටුවීමේ සමාරම්භක වැඩසටහන අද (06) කොලොන්නාව ආසනය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ‘මංගලපාය’ ශාලාවේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබූ අතර, මෙය ජාතික හා දිස්ත්‍රික් මෙහෙයුම් සභාවලට සමගාමීව ගම් මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රබල යාන්ත්‍රණයක් වනු ඇත.
මෙම නව වැඩපිළිවෙළ යටතේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 46 ක් සහ පොලිස් බලප්‍රදේශ 04 ක් ආවරණය වන පරිදි කමිටු බලාත්මක කෙරේ. ඒ අනුව වැල්ලම්පිටිය, මුල්ලේරියාව, ගොතටුව සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් කොට්ඨාසවල සියලුම ග්‍රාම නිලධාරි වසම් එක් කර ගනිමින් මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික වැඩසටහන පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ලෝකයම ඉරාන – ඇමෙරිකා යුද ගින්නෙන් පීඩා විඳින මොහොතක, මෙරට අභ්‍යන්තර සමාජ සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ වී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය මර්දනය නීතියෙන් පමණක් කළ නොහැකි බවත්, ඒ සඳහා ජනතාව දැනුවත් කිරීම සහ පාසල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බවත්ය. “සමහර නිලධාරීන් චක්‍රලේඛවලට සහ කාර්යාලයට පමණක් සීමා වී බිම් මට්ටමේ මැදිහත්වීම් කරන්නේ නැහැ. මේ ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි,” යනුවෙන් පැවසූ අමාත්‍යවරයා, විදුහල්පතිවරුන්, දෙමව්පියන් සහ ආදි ශිෂ්‍ය සංගම් ඒකාබද්ධව දරුවන් මත් උවදුරෙන් බේරා ගැනීමට කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.
මෙම අවස්ථාවට කොලොන්නාව නගරාධිපති ධම්මික විජේමුණි මහතා, ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මහජන ආරක්ෂක කමිටු නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ. මැදපෙරදිග යුද වාතාවරණය නිසා ඇතිවී තිබෙන ගෝලීය අර්බුද හමුවේ වුවද, රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍යයෙන් මුදා ගැනීම සඳහා රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සහ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් වැනි විද්වතුන්ගේ ද ඇගයීමට ලක්ව තිබේ.














