ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දින තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. වාර්තා වන දත්තවලට අනුව ඇතැම් බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 317 සීමාව ද ඉක්මවා ගොස් ඇත. මහජන බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 310.39ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 317.23ක් ලෙසත් සටහන් වන අතර සම්පත් බැංකුවේ විකුණුම් මිල රුපියල් 317.75ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව කොමර්ෂල් බැංකුව සහ NDB බැංකුව ද සිය විකුණුම් මිල රුපියල් 317 සීමාව දක්වා ඉහළ නංවා ඇති අතර සෙලාන් බැංකුවේ විකුණුම් මිල රුපියල් 316.50ක් ලෙස දැක්වේ. ඊයේ දිනයට සාපේක්ෂව සියලුම ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල මෙලෙස සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව පෙනී යයි.















