ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා වතිකානු පුරවරයේ අපොස්තලික මාලිගයේදී ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා තිබෙනවා. ජිනීවාහි පදිංචිව සිටිමින් ශුද්ධ වූ ආසනයේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරන ඒ මහතා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පාප් වහන්සේ වෙත පිරිනැමූ අතර, ශ්‍රී ලංකාව සහ ජනතාව වෙනුවෙන් යාච්ඤා කරන ලෙසත් ඉල්ලා සිටියා. ආයුධ මගින් සාමය සෙවීමට උත්සාහ කරන වත්මන් ලෝකයේ සංවාදයන් ප්‍රවර්ධනය කරන රාජ්‍ය තාන්ත්‍රිකභාවයකට නැවත නැඹුරු වීමේ වැදගත්කම අවධාරණය කළ පාප් වහන්සේ, වඩාත් සාධාරණ හා සහෝදරත්වයෙන් පිරි ලෝකයක් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට ඇති හැකියාව පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව සහ ශුද්ධ වූ ආසනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රශීලී සබඳතා සිහිපත් කළ තානාපතිවරයා, ජනාධිපතිවරයා විසින් 2027 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස පාප් වහන්සේට කළ ආරාධනය ද මෙහිදී නැවත සිහිපත් කළා. අක්තපත්‍ර ප්‍රදානයට සමගාමීව තානාපතිවරයා වතිකානු රාජ්‍ය ලේකම් අතිඋතුම් පීටර් පැරොලින් කාදිනල්තුමා සහ අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් හමුවී ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා.














