මෙරට ප්රධාන ජලාශවල පවතින ජල ධාරිතාව සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නවතම දත්ත වාර්තාවක් නිකුත් කර තිබේ. ඒ අනුව දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්රධාන ජලාශ 73ක සමස්ත ජල පරිමාව මේ වන විට සියයට 76.47ක මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ජලාශ 05ක සියයට 95.62ක ඉහළම ජල ප්රතිශතයක් වාර්තා වන අතර, බදුල්ල දිස්ත්රික්කයේ ජලාශ 07ක සියයට 94.93ක ජල ධාරිතාවක් පවතියි. මීට අමතරව මහනුවර (සියයට 92.47), අනුරාධපුර (සියයට 92.01) සහ මඩකලපුව (සියයට 91.03) යන දිස්ත්රික්කවල ද ජල මට්ටම් සියයට 90 ඉක්මවා පවතින බව වාර්තා වේ.
පොළොන්නරුව දිස්ත්රික්කයේ ජලාශ 4ක සියයට 86.55ක් ද, මොනරාගල දිස්ත්රික්කයේ ජලාශ 3ක සියයට 80.17ක් ද ජල පරිමාවක් පවතියි. කුරුණෑගල දිස්ත්රික්කයේ ජලාශ 10ක සියයට 76.45ක්, හම්බන්තොට දිස්ත්රික්කයේ ජලාශ 10ක සියයට 75.14ක් සහ ගාල්ල දිස්ත්රික්කයේ ජලාශ දෙකක සියයට 72.25ක ජල මට්ටමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අම්පාර දිස්ත්රික්කයේ ජලාශ 09ක සියයට 61.84ක ධාරිතාවක් පවතින අතර, මන්නාරම දිස්ත්රික්කයේ ජලාශ 4ක එය සියයට 59.97කි. දිවයිනේ අඩුම ජල ප්රතිශතය වාර්තා වන්නේ පුත්තලම දිස්ත්රික්කයෙන් වන අතර එහි ජලාශ දෙකක පවතින්නේ සියයට 55.98ක ජල මට්ටමකි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද බොහෝ දිස්ත්රික්කවල ජලාශ සතුටුදායක මට්ටමක පවතින බව මෙම දත්ත මගින් තහවුරු වේ.













