27 April 2024
#දේශීය

දියුණුම රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පත් කල යුතුයි – අනුර දිසානායක

ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සම්පත් විකිණීම මඟුලක්ද උගුලක්ද? සම්මන්ත්‍රණය පසුගිය 07 වනදා මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරය පැවැති අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා “මේ දිනවල ආර්ථිකයේ යම් පිබිදීමක් ගැන සාකච්ඡාවක් පවතිනවා. ණයක් ලැබී තිබෙනවා. ඇතැම් භාණ්ඩවල මිල අඩුවී තිබෙනවා. ජනතාව කල්පනා කරනවා, දැන් අපේ රටේ ආර්ථිකය යම් සුබදායී දිසාවකට යොමුවී තිබෙනවා කියලා. අපේ රටේ ජනතාව ආර්ථිකයේ සුබදායී දිශාව දෙස බලා සිටියේ අද පමණක්ද? අපේක්ෂාවන් තිබුණේ අද පමණද? අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් ආර්ථිකයේ සුබ සිහිනයක් දකිමින් සිටියා. ආර්ථිකයේ සංවර්ධනය පිළිබඳ සිහින මවාගෙන සිටියා. විටින් විට බලයට ආ පාලක කණ්ඩායම් විසින් ජනතාවගේ ඔළුවේ විවිධාකාරයෙන් මැවීමක් කළා. 1970 සිට 1977 දක්වා අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති බිඳ වැටීම හේතුකොට ගෙන අපේ රටේ හාල් පෝලිම්, මිරිස් පෝලිම් ඇතුළු තවත් පෝලිම් නිර්මාණය වෙලා තිබුණා. ජේ.ආර්. ජයවර්ධන 77 දී ප්‍රකාශ කළා, ඔහුට බලය දෙන්න, ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා. විශාල ගොඩනැගිලි, විනයක් සහිත රටක්, විශාල පාරවල්, තරුණ තරුණියන්ට රැකියා, රටේ නිෂ්පාදනය ඉහළ යාම, වරාය, ගුවන් සේවය, බැංකු සේවය කාර්යක්ෂම සිදුවෙන රාජ්‍යයක් පිළිබඳව ඔළුවේ සිහින මැව්වා. අද සිංගප්පූරුවේ වසරක සමස්ත ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 424යි. ලංකාවේ වසරකට නිෂ්පාදනය කරන්නේ ඩොලර් බිලියන 65යි. ඒ 2022 වසරේ. සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 79,500යි. ලංකාවේ ගිය වසරේ ජාතික නිෂ්පාදිතය අනුව ඩොලර් 3000ටත් වඩා ටිකක් අඩුයි. 1994දී චන්ද්‍රිකා කුමාරතුංග කිවුවා, මේ විවෘත ආර්ථිකය අපේ රටට මහත් විනාශයක් ළඟා කළා කර්මාන්ත ශාලා, නිෂ්පාදන ආයතන, කඩා වැටෙන්න පටන් ගත්තා කියලා. දේශපාලනයේ විශාල පිරිහීමක්, අපරාධ, දූෂණ, නීතිගත වුණු රාජ්‍යයක් ඇති වුණ බවත් කිවුවා. විවෘත ආර්ථිකය අමානුෂිකයි, මෙයට මානුෂික මුහුණුවරක් දීමට අවශ්‍ය බව ඇය ප්‍රකාශ කළා. ජනතාව සිතුවා රටේ යහපත් තත්වයක් නිර්මාණය වෙයි කියලා. ආර්ථිකයේ විශාල වර්ධනයක් ඇති වේවි, තාක්ෂණය උපයෝගී කරගෙන දියුණු කර්මාන්ත ශාලා පද්ධතියක් ආරම්භ කරාවි කියලා. මානුෂික ආර්ථිකයක් ගොඩනගාවි යැයි ජනතාව විශ්වාස කළා. එහි ප්‍රතිඵලත් අතිශය නීරස වුණා.

නැවත 2005දී ‘රට පෙරට’ මාතෘකාව ගෙන එමින් මහින්ද රාජපක්ෂ රට ඉදිරියට ගෙනයාමට වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. නමුත් එය බිඳ වැටුණා. 2010දී ආසියාවේ විස්මයජනක රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කරන බව පැවසුවා. ජනතාව ඒ සුබ සිහිනය ඔස්සේ ගමන් කළා. ඊට පසුව රනිල් වික්‍රමසිංහ ’යහපාලනය’ ගොඩනඟන බවට ජනතාවට පොරොන්දු වෙමින් පැමිණියා. ජනතාව ඒ සුබ සිහිනය ඔස්සේ විශ්වාසය තබාගෙන සිටියා. ඉතිහාසයේ එක ආණ්ඩුවක් ලබාගත් වැඩිම ණය තොගය සහිත රට බවට රනිල් වික්‍රමසිංහ පත්කළා. 2007 සිට 2015 දක්වා වසර අටකට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර විකුණා, මහින්ද රාජපක්ෂ ණය අරගෙන තිබුණේ ඩොලර් බිලියන 3.5යි. නමුත් රනිල් වික්‍රමසිංහ 2015 සිට 2019 දක්වා වසර 04ක කාලය තුළ ඩොලර් බිලියන 12.5ක් ලබාගනිමින් ලංකා ආණ්ඩුව ලබාගත් වැඩිම ණය තොගය සහිත රට බවට පත් කළා. ඔහු ජාතික සම්පත් විකිණීමට පටන් ගත්තා. ජනතාව යහපාලනයත් මිරිඟුවක් බව තේරුම් ගත්තා. ඊට පසුව ගෝඨාභය රාජපක්ෂ දියුණුතම මෙවලම් උපයෝගී කරගන්නා රටක් නිර්මාණය කරන බව පැවසුවා. නමුත් අවසානයේ චීනයේ කුණු පොහොර ලංකාවේ කුඹුරුවලට ගහන තත්වයක් නිර්මාණය කර බැස ගියා. නැවත ආණ්ඩුව පසුගිය මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග එකඟතාවකට පැමිණියා. මේ රට ගොඩයාමේ ඒකායන මාර්ගය මේ ණය ගැනීම බවට ආණ්ඩුව විශාල මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබෙනවා. නමුත් මේක ණයක්, මෙය රැවටීමක්, මේ මාවතේ ගමනක් නොමැති බව ජනතාව තේරුම් අරගෙන තිබෙනවා. මෙම ණය ලබාගැනීමේ එකඟතාවය ජයග්‍රහණය කළේ කවුද යන්න බෙදා ගැනීමටත් තරඟ කරමින් ඉන්නවා. මේ එකඟතාවයේ කුසලානය හිමි බැසිල් රාජපක්ෂට බව ඒ පැත්තෙන් ප්‍රකාශ කරනවා. රටකට ණයක් ලබාගැනීමේ කප් එකේ හිමිකාරිත්වයට පොර බදිමින් තිබෙනවා. මේ තුළ ජනතාවට බලහත්කාරයෙන් ඇතුල් කරන්න හදනවා මේක තමයි යා යුතු මාවත කියලා. මේක ඇත්තද? නැහැ. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට යන්න සිදුවුණේ මහ බැංකු අධිපති නන්දලාල් නිසයි. ඔහු මහ බැංකු අධිපති ලෙස පත්කරන්නේ 2022 අප්‍රේල් මස 08 වෙනි සිකුරාදා. නිවාඩු දින තුනකට පසුව ඔහු අප්‍රේල් 12වන දින මහ බැංකුවට පිවිසුණා. ඔහු මහ බැංකු අධිපති ලෙස පළමුවෙන්ම ගත් තීන්දුව තමයි ශ්‍රී ලංකා රජය විදේශීය රටවලින් ලබාගත් ණය ගෙවන්නේ නැති බවට ගත් තීරණය. මහ බැංකු අධිපතිවරයෙක් ගොඩවූ පළමු දවසේම එවැනි තීන්දුවක් ගැනීමට තරම් එහි කිසියම් අන්තර් සම්බන්ධතාවයක් තිබෙන බව පැහැදිලියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148වැනි වගන්තිය අනුව රටේ මූල්‍ය බලය මුළුමනින්ම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටයි. 2021 දෙසැම්බර් මාසයේ අයවැයෙන්, 2022 වසරේ ණය ගෙවීම සඳහා මුදල් වෙන්කර තිබුණා. එහි නිශ්චිතව සඳහන් කර තිබුණා ගෙවීමට තිබෙන ණය මුදලත්, එම ගෙවීමට තිබෙන ණය මුදල් සඳහා මුදල් සොයා ගන්නා ආකාරයත්. හැබැයි කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට කිසිදු අවබෝධයකින්, දැනුවත් කිරීමකින් තොරව මහ බැංකු අධිපතිවරයා තීන්දුවක් ගන්නවා අපි ණය ගෙවන්නේ නැහැ කියලා. සමහර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස පෙන්වා දුන්නා.

රටක් ණය ගෙවන්නේ නැතැයි කියන්නේ රට බුන්වත්භාවය ප්‍රකාශ කිරීමක්. ණය ගෙවන්නේ නැත්නම් අනිවාර්යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග එකඟතාවයකට යා යුතුමයි. වෙනත් කිසිදු විකල්ප මාවතක් නැහැ. අපිට මුදල් සපයා ගැනීම වෙනුවෙන් ද්විපාර්ශ්වික එකඟතාවයන් වෙත යා හැකිව තිබුණා. 2022 අගෝස්තු මාසය වන විට 2022 වසර සඳහා පමණක් ඉන්දියාවෙන් ඩොලර් 3.8ක ණය පහසුකම් අරගෙන තිබුණා. තවදුරටත් සාකච්ඡා දීර්ඝ කර ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව තිබුණා. අපි හදාගන්නා සංවර්ධන මාවත්වලට අනුරූප වන පරිදි ඉන්දියාවත් සමග ණය එකඟතාවයකට යා හැකිව තිබුණා. පසුගිය මාර්තු මස ඩොලර් බිලියන 1.5ක් වටිනා යුවාන් ණය මුදලක් ලබාදී තිබෙනවා. අදත් එය මහ බැංකුවේ සංචිතවලට ඇතුළත් වෙලා තිබෙනවා. අපි ණය නොගෙවන්නේ නම්, ද්විපාර්ශ්වීය ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ඇහිරී යනවා. මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා ජපානයත් සමග යම් මුදල් ගනුදෙනුවක් පිළිබඳව සාකච්ඡා කරමින් තිබුණා. අපි ණය ගෙවන්නේ නැත්නම් ණය ගෙවන්නේ නැති රටකට කිසිවෙක් ණය දෙන්නේ නැහැ. ආසියානු සංවර්ධන බැංකුවෙන් අපට ණය ලබාගැනීමේ හැකියාව තිබුණා. ඒ සියල්ල අප්‍රේල් මාසයේ 12වනදායින් පසුව ගිලිහී ගියා. මහ බැංකු අධිපතිවරයා අප්‍රේල් මස 12වනදා ගත් තීරණයත් සමග අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ගැටගැසුවා. මෙය ඉතාමත් දැනුවත්භාවයකින් කරන ලද කාර්යයක්. ඔහු එම පුටුවේ වාඩිවෙන ලද්දේ එම කාර්යය සඳහාමයි යන මතය සමාජය තුළ මතුවී තිබෙනවා. වසර 04ක කාලය සඳහා ඩොලර් බිලියන 2.9ක මුදලක් ලැබෙනවා. මාස හයෙන් හයට ඩොලර් බිලියන 320කට ආසන්න මුදලක් අපට ලැබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන මේ ගමන අපේ රටට අලුත් ගමනක් නොවේ. අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පළමු ණය පහසුකම ලබා ගන්නේ 1966 වසරේදී. 66 සිට 2016 දක්වා අපි දහසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබාගෙන තිබෙනවා. මේ අවස්ථාව සමග අවස්ථා හතරක් අපි ණය ලබාගෙන තිබෙන්නේ විස්තීරණ පහසුකමක්. එයින් අදහස් කරන්නේ එයාලා දෙන ලද න්‍යාය පත්‍රයකට අනුව එසේ නැත්නම් එයාලා සමග වෙන එකඟතාවයකට අනුව ආර්ථිකය මෙහෙයවීම.

එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගත් ධනවාදී ලෝකයක් තිබෙනවා. ලෝකෙට යුද න්‍යාය පත්‍රය හදන්නේ නේටෝ එක. ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය, යන රටවල ආක්‍රමණය තීරණය කරන්නේ එයාලා. ලෝකයට අවශ්‍ය වන සාම සැලසුම සකස් කරන්නේ, දේශපාලන සැලැස්ම සකස් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. ලෝකයට අවශ්‍ය ආර්ථික සැලසුම සකස් කරන්නේ අයි.එම්.එෆ්. එක. ලෝක වෙළඳ සංවිධානය, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. පරිධියේ පිහිටි බොහෝ රාජ්‍යයන්ට මේ වැඩපිළිවෙළ දියත් කර තිබෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ, ආර්ථික ලිහිල් කිරිම්, ආර්ථිකයේ රාජ්‍ය පංගුව අත්හැරීම, මූල්‍ය වෙළඳපොළ නිදහසේ ක්‍රියාත්මක වීම සඳහා ඉඩ සකස් කර ගැනීම, ප්‍රාග්ධනය නිදහසේ ගලාගෙන යාමට ඉඩ හැරීම, ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ නිදහසේ ලෝකයේ වෙළඳපොළවලට ගලාගෙන යාමට ඉඩ සකස් කිරීම සඳහා මේ ගොල්ලෝ දීර්ඝ කාලයක් තිස්සේ මැදිහත්වී තිබෙනවා. එහි ප්‍රතිඵලය බවට පත්වී තිබෙන්නේ එක්සත් ජනපදයේ තිබෙන සමාගම් කිහිපයක් අතට ධනය ඒකරාශි වීමයි. සමහර සමාගම්වල ලාභය රටවල් හත අටක ජාතික නිෂ්පාදනයටත් වඩා විශාලයි. පරිධියේ තිබෙන වෙළඳපොළවල්, අමුද්‍රව්‍ය අත්පත් කර ගැනීමට එයාලා සමත්වී තිබෙනවා. එයාලගේ වට්ටෝරුව අනුව පරිධියේ පිහිටි රටවල් දුප්පත්වීමේත් කේන්ද්‍රයේ තිබෙන රාජ්‍යයන් ලෝකයේ තිබෙන ධනය, සම්පත් එක්රැස්කර ගැනීමේත් ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනවා.

මෑතකදී වෘත්තීයවේදීන්ගේ සංවිධානයක් වෛද්‍යවරු, ඉහළ කළමනාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉහළ බදු කප්පාදුවට ලක්වූ අය ජනාධිපතිවරයාත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිරිවර්ධනත්, මහ බැංකු අධිපති නන්දලාල් සමගත් සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී වෘත්තීයවේදීන් පෙන්වා දෙනු ලැබුවා, මේ උපයන විට ගෙවීමට සිදුව ඇති බදු මත ජීවිතය පවත්වාගෙන යාමට අපහසු බව. ඔවුන්ගේ බදු ලෙස කපා ගන්නා මුදල අවම කර ගැනීමත් එම මුදල් බැංකුව වෙත ලබාගත හැකි මාර්ගයත් ඔවුන් ඉදිරිපත් කළා. එහිදී ජනාධිපතිවරයාත්, මහ බැංකු අධිපතිවරයාත් එය පිළිගත් අතර, ඔවුන් කියා සිටියේ මේකට තමන්ට විසඳුමක් දිය නොහැකි බවයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡාවක් අරගෙන දෙන්නම් එයාලට ඔය ගැටලුව ඉදිරිපත් කරන්න කියලා. එයින් කියන්නේ තවදුරටත් මේ ආර්ථිකයේ තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් ජනාධිපතිවරයාට හෝ මහ බැංකු අධිපතිවරයාට නැහැ. මෙයින් කියැවෙන්නේ අපට අපේ ආර්ථික ස්වෛරීභාවය අහිමිවී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහි අවධානය යොමු කරන ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් තිබෙනවා. එකක් ගෙවුම් ශේෂය තුළනය කර ගැනීම. එයාලට මේ ප්‍රශ්නය ගෙවුම් ශේෂය තුළනය කර ගැනීමේ ප්‍රශ්නයක්. මෙය ආර්ථිකයේ අභ්‍යන්තරයේ ඇති වන ගැටලුවක්. ලෝක වෙළඳපොළ වෙනස්වීම්වලට අනුව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර අපනයන ආදායම වැඩිකර ගැනීමට සැලැස්මක් තිබුණේ නැහැ. අපේ ආර්ථික දේහයේ ඇතිවී තිබෙන කුණුවීමට ගිණුම්කරණ විසඳුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරනවා. දෙවන කරණය, ආණ්ඩුවේ අයවැය හිඟය තුළනය කරගන්නේ කෙසේද? ගිය වසරේ භාණ්ඩාගාරයට ලැබුණා රුපියල් කෝටි ලක්ෂ දෙකක්. මේ වසරේ ණය පොලී වාරිකය ටි්‍රලියන 2.2යි. ණය වාරිකය ටි්‍රලියන 2යි. මේ වසරේ ණය පොලී වාරිකය ගෙවීමට ටි්‍රලියන 4.2ක් අවශ්‍යයි. මෙම හිඟය ගිණුමේ තුළනය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් දෙනු ලැබුවත්, ආර්ථික දේහයේ ඇතිවන ගැටලුවලට පිළිතුරක් නැහැ. සමාජ යාන්ත්‍රණයට පිළිතුරක් වන්නේ නැහැ.

එයාලාගේ තවත් යෝජනාවක් තමයි ආණ්ඩුව දරන වියදම් අඩු කළ යුතුයි. ඒ සඳහා ආණ්ඩුවේ සේවාවන් සපයන ආයතන සල්ලිවලට විකිණීමට තීරණය කරනවා. කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය, මැරායන් ඉංජිනියරින් ක්ෂේත්‍රයට උගන්වන ආයතන එන්.ඩී.ටී. හා ටී.ටී.අයි. ආයතන දෙක. ගිය වසර දක්වා දරුවන්ට මෙම ආයතනවල අධ්‍යාපනය නොමිලේ ලබා දුන්නා. මේ වසරේ සිට දෙලක්ෂ විසිපන්දහසක් අය කිරීමට තීරණය කර තිබෙනවා. ගිණුම තුළනය කර ගැනීමට ආණ්ඩුව විසින් දරන පිරිවැය අඩු කිරීමට අවශ්‍ය්‍ය නිසා රජය විසින් ලබාදෙන සේවාවන් කප්පාදු කරනවා. පසුගිය 21 වනදා තවත් කැබිනට් තීන්දුවක් අරගෙන තිබෙනවා. කර්මාන්ත ඉංජිනේරු ආයතනය, කටුබැද්ද, මොරටුව. මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය, ඔරුගොඩවත්ත. මේවායේ අධ්‍යාපනය නොමිලේ ලබාදුන් ආයතන. දැන් මුදල් අයකිරීමට අනුමැතිය දී තිබෙනවා. පොකට් එකේ තරමට අධ්‍යාපනය ලැබිය හැකි අයට අධ්‍යාපනය සීමා වෙනවා.

අයවැය තුළනය සඳහා ඊළඟට තීරණය කර තිබෙන්නේ සහනාධාර කප්පාදු කිරිම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමතරව ලෝක බැංකුව සමගත් එකඟතාවයකට පැමිණ සිටිනවා. ඒ අනුව මාර්තු මාසයේ 30දා වන විට ඍජු ලෙස සහනාධාර ලබාගත යුතු ඉලක්කගත පවුල් සංඛ්‍යාව හඳුනාගත යුතුයි. එසේ සහනාධාර ලබන අය හඳුනාගෙන නොමැති නිසා අපි ණය මුදල අත්හිටුවනවා. මේ ලබාදෙන සහනාධාර රුපියල් බිලියන 187යි. ගිය වසරට වඩා සුළු වැඩිවීමක්. ලෝක බැංකු ණය මුදල ලබා ගැනීමට මෙය කප්පාදු කළ යුතුයි. මේ කුමක් සඳහාද? ගිණුම තුළනය කර ගැනීම සඳහා. රාජ්‍ය සේවය ලක්ෂ හය දක්වා අඩු කිරීමටත් සාකච්ඡා වෙමින් තිබෙනවා. මෙසේ කප්පාදු කර, 2024 වන විට අපේ ප්‍රාථමික ගිණුමේ ධන 2.3ක (ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව) අතිරික්තයක් පවත්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා, මේ වසරේ ඍණ 3කින් ආර්ථිකය හැකිළෙන බව. ලෝක බැංකව පවසනවා ඍණ 4.2කින් ආර්ථිකය හැකිලෙන බව.

අයවැය ලේඛනයෙන් පෙන්වන්නේ ආර්ථික දේහයේ තිබෙන කඩා වැටීමයි. මේ ප්‍රශ්නය ගිණුම්කරණයෙන් බේරිය නොහැකියි. අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඇති සැලැස්ම කුමක්ද? ඔවුන්ගේ ඊළඟ යෝජනාව වන්නේ 2025 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 10.3කට ගේන්න. ඉතිහාසයේ කිසිදිනෙක සිදු නොවූවක්. වැඩිම 8.3ක් තිබුණා 2014-2015 කාලයේ. විදෙස් සංචිත වැඩිකිරීමට කළ යුත්තේ කුමක්ද? අපි උපයා ගන්නා ඩොලර් ප්‍රමාණය අපේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වූ විට ඒවා සංචිතවලට එකතු වෙනවා. දැන් විදෙස් සංචිත නිර්මාණය කිරීමට අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකා ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ඒවායේ පාලිත සමාගම්, ලංකා හොස්පිට්ල්, ෂෙල් ගෑස් සමාගම් ප්‍රතිව්‍යුහගත කිරිම. සරලව ගත හොත් විදෙස් සංචිත වැඩිකර ගැනීමත්, ගෙවුම් ශේෂය තුළනය කර ගැනීමත්, අයවැය හිඟය තුළනය කර ගැනීමත් සඳහාත් විකල්පය වන්නේ විකිණීම සහ ණයට ගැනීමත් යන ක්‍රියාමාර්ග දෙක පමණයි. මේ ව්‍යාපෘතිය අවසන් වන විට වසර පහකින් අපි අලුත් ණයක් ගන්නවා ඩොලර් බිලියන 20ක්. ඒ වසර පහ තුළ අයි.එම්.එෆ්. එකෙන් ගන්නවා ඩොලර් බිලියන 2.982ක්. ලෝක බැංකුවෙන් ගන්නවා මිලියන 1750ක්. ආසියානු සංවර්ධන බැංකුවෙන් ගන්නවා මිලියන 2000ක්. තව බහු පාර්ශ්වික සහ ද්විපාර්ශ්වික ණය ගන්නවා බිලියන 10.283ක්. ජාත්‍යන්තර ස්වෛරී බැඳුමකර විකුණනවා බිලියන 3.75ක්. අපේක්ෂා කරන්නේ ඩොලර් බිලියන 20ක ණයක්. ඒ ණයවලින් ඩොලර් බිලියන 13ක් ණය ගෙවනවා. අපිට ගෙවීමට තිබෙනවා ඩොලර් බිලියන 27ක්. ඒ ඩොලර් බිලියන 27න් ඩොලර් බිලියන 14ක් කපා හරීවි යැයි අපේක්ෂා කරනවා.

අපේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.6යි. ගෙවුම් ශේෂය තුළනය කිරීමට නම් මේ වසරේ ඩොලර් බිලියන 3.2ක ණය කපා හැර තිබිය යුතුයි. මුළු වසර හතරටම බිලියන දාහතරයි දශම ගණනක් කපා හැරිය යුතු වෙනවා. දැන් සාකච්ඡාවක් පැමිණ තිබෙනවා ඒ මුදල කපා හැරීමට නම්, දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කිරීමට වුවමනා බව. දේශීය ණය ටි්‍රලියන 12ක් තිබෙනවා. එයින් කෝටි ලක්ෂ තුනක් ඊ.පී.එෆ්. එකේ සල්ලි. මේ රටේ වැඩකරන ජනතාව තමන් වැඩකරන වැටුපෙන් මාසිකව 8%ක් කපලා, ස්වාමියා 12%ක් දීලා මාස්පතා කැපෙන සල්ලි. ඒ කැපෙන සල්ලි සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරනවා. එය ආයෝජනය කළ හැක්කේ කොටස් වෙළඳපොළේ. එය 7%ක් පමණයි. අනෙක්වා භාණ්ඩාගාර බිල්පත්වල, භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කරනවා. ආණ්ඩුවට ණයට දී තිබෙනවා කෝටි ලක්ෂ තුනක්. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක්වෙනවා නම්, දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ අනතුරකට අපි මුහුණ දී තිබෙනවා. ඒ මුදල් කාගේද? එම ණය කපා හැරියහොත් මහජනතාවගේ මුදල් කෝටි ලක්ෂ එකහමාරක් අහිමි වෙනවා. අද වාණිජ බැංකු පද්ධතිය ද්‍රවශීලතාවයේ අනතුරකට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුවට ණය දීමෙන් මේ තත්වය උදාවී තිබෙනවා.

මහ බැංකුව යනු සේවක අර්ථ සාධක අරමුදලේ භාරකාරයා. එයාලා තවත් යෝජනාවක් ගේනවා මහ බැංකුව ස්වාධීන කළ යුතු බවට. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා. එහි වගන්ති 46ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දී තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපි සුනිල් වටගල සහෝදරයා මැදිහත් වෙලා මේ පනතට විරුද්ධව නඩුවක් ගොනුකළා. එයට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් හා සමහර වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍යව තිබෙනවා. මහ බැංකුවට තිබෙන්නේ මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම. රජයෙන් මහ බැංකුව මුළුමනින්ම ස්වාධීන කළ යුතු බවට මේ පනතින් යෝජනා කරනවා. පාර්ලිමේන්තුවේ කොප් කමිටුවටවත් මහ බැංකුව කැඳවීමේ බලයක් නැහැ.

මහ බැංකුව යනු මූල්‍ය වෙළඳපොළ නියාමනය කිරීමට තිබෙන ආයතනයක්. භාණ්ඩාගාරය යනු තවත් එක් මූල්‍ය ආයතනයක්. ඒ නිසා භාණ්ඩාගාරයේ ලේකම්වරයා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් අයින් කළ යුතු බව කියනවා. එක් මූල්‍ය ආයතනයක කෙනෙක් විතරක් මුදල් මණ්ඩලයේ සිටින විට එය භාණ්ඩාගාරයට අනිසි බලපෑමක් සිදුවෙනවා. මහ බැංකුව ස්වාධීන කිරිමට නම් භාණ්ඩාගාරය අයින් කළ යුතු වෙනවා. අපේ රටේ මූල්‍ය වෙළඳපොළ මුළුමනින්ම නිදහස් කිරීමක් තමයි මේ සිදුකරන්නේ. මහ බැංකුව ස්වාධීන කිරීමෙන් පෙරළා අපේ අනෙකුත් අංශ විශාල ලෙස දුර්වලභාවයකට පත්කරනවා.

භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමේදී ආණ්ඩුවට ණය දීමේදී මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ප්‍රාථමික ගැනුම්කරුවෙකු හැටියට භාණ්ඩාගාර බැඳුම්කර, බිල්පත් මිලදී ගන්නවා. මේ පනතින් පසුව මහ බැංකුවට බැඳුම්කර හෝ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ආණ්ඩුවට සල්ලි වුවමනා වූ විට මහ බැංකුවෙන් බැඳුම්කර මිලදී අරගෙන සල්ලි අච්චු ගසා දෙන්න නොහැකියි. මහ බැංකුව බැඳුම්කර මිලදී ගන්නවාද? තමන් සතුව තිබෙන බැඳුම්කර විකුණනවාද යන්න තීරණය කරන්නේ මුල්‍ය වෙළඳපොළේ ස්ථායීකරණය මත. මෙවන් අවස්ථාවක භාණ්ඩාගාරයත්, මහ බැංකුවත් ඒකාබද්ධ සැලැස්මකින් මේ ව්‍යසනයෙන් ගොඩ එන්න ඕනෑ. මෙය අපේ රටේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරන්නක් වෙනවා.

ඊළඟට ගෙන ඒමට යනවා ආසියාවේ බලවත්ම දූෂණ විරෝධී පනත. ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දූෂිතයෙකු ලෙස චෝදනාවට ලක්වූ අයෙකු තබාගෙන රනිල් වික්‍රමසිංහ දූෂණ විරෝධී පනතක් ගෙනවිත් තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ නීතිය තුළ නෙමෙයි. මහින්ද රාජපක්ෂ හොරෙකු බව කීවේ රනිල්. රනිල් මහ බැංකු හොරා බව පාර්ලිමේන්තුවේදී කිව්වේ වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධනයි. ඒ මහ බැංකුව කොල්ලකාපු අය දූෂණ විරෝධී පනතක් ගේනවා කීම විහිළුවක්. තිබෙන නීති ඕනෑවටත් වඩා ප්‍රමාණවත්.

මේ ගිවිසුම අසාර්ථක විය හැකි ප්‍රධාන හේතුවක් නම් විකිණීමේදී ඇතිවිය හැකි දූෂණයි. වාණිජ ව්‍යාපාර පිළිබඳව අපි කල්පනා කරනවා. ආර්ථික වශයෙන් උපායමාර්ගිකව වැදගත් ව්‍යාපාර. ටෙලිකොම්, වරාය, තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, මූල්‍ය වෙළඳපොළ, බැංකු පද්ධතිය, ආර්ථිකයට අතිශය සංවේදී, ආරක්ෂාවටත් අතිශය සංවේදී ඒවා රජය විසින් කොටසක් තබා ගත යුතුමයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහන වැනි සේවාවන් මේවා ලාභ ලබන ව්‍යාපාරයන් නොවේ. ඒවා භාණ්ඩාගාරය විසින් වියදම් දරා ජනතාවට සේවාවන් ලබාදිය යුතුයි. අධ්‍යාපනය ලාභ අලාභ ගිණුමක මැනිය නොහැකියි. කැබිනට් පත්‍රිකාවේ අධ්‍යාපනය ගැන දමා තිබෙනවා එක එක විශ්වවිද්‍යාලයේ මුල්‍ය තත්වයන් වෙන වෙනම ගණනය කිරීමට. විශ්වවිද්‍යාල බැලිය යුත්තේ මූල්‍ය තත්වයන් එක්ක නොවෙයි. එහි නිපුනතාවයක් සහිතව නිර්මාණය කරන වෘත්තිකයා. එතනින් තමයි ආර්ථිකයට දායකත්වය සපයන්නේ. කෙනෙක් නිරෝගී සම්පන්නව ජීවත් වීම ලාභ අලාභ ගිණුමේ මැනිය හැකිද? සෞඛ්‍ය, ප්‍රවාහනය, ලාභද පාඩුද බැලීම නිවැරදි ක්‍රියාවක් නෙමෙයි. එම ආයතන රජය සතුව තබාගත යුතුයි. රජය කළමනාකරණය සඳහා මැදිහත් විය යුතුයි.
අපේ සැලැස්ම නිෂ්පාදනය දිරි ගැන්වීමයි. අපේ ආර්ථිකය කඩා වැටී තිබෙනවා. ඒ නිසා නිෂ්පාදනය නඟා සිටුවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමට අපි ණය ගැනීමට සූදානම්. සූරියවැව ක්‍රීඩාංගණයට, මත්තල ගුවන් තොටුපළට, ණය ගත්තේ ඇයි? ගිං-නිල් ඔය ව්‍යාපෘතියට නිමල් සිරිපාල වාරිමාර්ග ඇමති ලෙස සිටියදී 2015 ජනවාරි 06වැනිදා චෙක්පත ලියනවා. මුදල මිලියන හාරදහස් එකොළහයි. ජනවාරි 08වැනිදා ඡන්දය පැවැත්වෙනවා. එක පස්පිඩැල්ලක් හෝ කපා නැහැ. මේ අයුරින් තමයි ණය ගනුදෙනු සිදුවුණේ. නෙළුම් කුලුණ හැදීමට පළමුවෙන්ම ගත් කෝටි 200ට සිදු වූ දෙයක් නැති බව මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. සමහර ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධනය, තාක්ෂණය අපට නැහැ. ඒ සඳහා අපි ණය ගන්නවා. 2012 සිට 2022 දක්වා ලංකාවට ආ මුළු ආයෝජන ඩොලර් මිලියන 7.7යි. ආයෝජනවලට සුදුසු රටක් අපි හදන්න ඕනෑ. ආර්ථික උපායමාර්ගිකව ආයෝජනය අවශ්‍යයි. වෘත්තීමය නිපුනතාවයක් සහිත ශ්‍රම බලකායක් හැදීම අපේ තවත් එක් උපාය මාර්ගයක්. අපි අයි.ටී. තාක්ෂණය පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. නිෂ්පාදනයට ජනතාව හවුල් විය යුතුයි. ගමට ප්‍රසාරණය විය යුතුයි. වෙළඳපොළ කළමනාකරණය කළ යුතුයි. නව නිදහස් වෙළඳ ගිවිසුම්වලට අපි අවතීර්ණ විය යුතුයි. සමහර භාණ්ඩ තරගකාරීත්වයකින්ද, නියාමනයකින්ද, වෙළඳපොළේ පංගුවක් අත්පත් කර ගැනීමෙන්ද, සංවිධානය කිරීමෙන්ද පාලනය විය යුතුයි. මේ සඳහා ඉතා සුදුසු පාලන ව්‍යුහයක් සකස් කරනවා. නිෂ්පාදනය දියුණු කර, වෙළඳපොළ සමනය කරනවා. ජනතාවට ප්‍රතිලාභ ගලාගෙන යන ආර්ථිකයක් අපි හදනවා. මේ කඩා වැටුණු රට අපි ගොඩනඟනවා. නවීන ලෝකයක් එක්ක සම්බන්ධ වුණු රාජ්‍යයක් අපි ගොඩනඟන්න ඕනෑ. අල්ලස, දූෂණ, නාස්තිය නතර කළ යුතුයි. ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව අපි පත් කළ යුතුයි. ඒ වෙනුවෙන් ආර්ථිකයේ, දේශපාලනයේ, සමාජයේ, රාජ්‍ය සේවයේ නව පරිවර්තනයක් අවශ්‍යයි.යැයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *