ආසියානු කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කාන්තාව ඉදිරියෙන් සිටින බවත් එම තත්ත්වය තවදුරටත් පුළුල් කර ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමිනි.
“ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” ඒ සඳහා පිටිවහලක් වනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සාර්ක් සංවිධානය තුළ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සඳහන්ව නැති බැවින් එම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා සාර්ක් රටවල ප්‍රධාන කාන්තා ක්‍රියාකාරිනියන්ගේ රැස්වීමක් මේ වසර තුළ මෙරට දී පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බව ද අවධාරණය කළේය.
“ඇය දැයේ අභිමානයයි” යන තේමාව යටතේ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය විසින් “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවාය.
“2023 ජාත්‍යන්තර කාන්තා දිනය” වෙනුවෙන් අභිමානවත් හා දීප්තිමත් කාන්තා චරිත සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු අතර එහිදී ආචාර්ය සුජාතා අත්තනායක, කලාශූරී ශ්‍රියානි අමරසේන, අනුල ද සිල්වා සහ රශ්මි නිමේෂා ගුණවර්ධන යන මහත්මීහු සම්මාන ලැබූහ.
ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ මැදිහත්වීමෙන් දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගත් හොඳම කාන්තා ව්‍යවසායකයන් 25 දෙනකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කටයුතු සාර්ථක කර ගැනීමට සහාය ලබා දුන් මෙන්ම අසීරු අවස්ථාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට සහාය දුන් ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සිතාරාම්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා යන මහත්මීන්ට ස්තුතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” 2023 වර්ෂය වෙනුවෙන් කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් “ඇය දැයේ අභිමානයයි” යන තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා.මෙම කටයුතු සංවිධානය කිරීම සඳහා වෙහෙස මහන්සි වූ රාජ්‍ය ඇමතිතුමිය, ලේකම්තුමිය ඇතුළු සියලු දෙනාට මම ස්තූති කරනවා. රාජ්‍ය අමාත්‍යවරිය විශාල වැඩ කොටසක් බාරගෙන රට පුරා යමින් එම කටයුතු ඉදිරියට ගෙන යනවා. 2022 ජාත්‍යන්තර කාන්තා දිනයත්, 2023 ජාත්‍යන්තර කාන්තා දිනයත් අතර කාලය තුළ රටේ විශාල විපර්යාසයක් සිදුව තිබෙනවා. රටේ ආර්ථික බිඳ වැටීම ඊට මූලික හේතුවයි. කාන්තාවන් හෝ පිරිමින් වේවා මේ රටේ ජනතාව වින්ද දුක මම මෙම අවස්ථාවේ සිහිපත් කළ යුතු නැහැ. කවුද මීට වග කිව යුත්තේ කියා දැන් රට තුළ විවාදයක් යනවා. මේ විවාදයේදී විවිධ නම් කියනවා. එම නම් මම සඳහන් නොකළත් එක කාන්තාවකගේවත් නම ඒ අතර නැති බව කියන්න කැමතියි. එසේ නම් මෙම සිදුවීමට කාන්තාවන් වග කිව යුතු නැහැ. අපට සහාය දක්වන රටවල් සමඟ මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අපේ එකඟාව ප්‍රකාශ කිරීමේ ලිපියට මමත්, මහබැංකු අධිපතිතුමත් අත්සන් තැබුවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඊයේ ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් ලබා දී තිබුණා. අප පසුගිය කාලයේ අත් විඳපු දුකෙන් ජනතාව නිදහස් කර ගැනීමට කටයුතු කළ අයගේ නම් පිළිබඳ සලකා බැලුවහොත් එහි කාන්තාවන් තුන් දෙනෙක්ගේ නම් සඳහන් වෙනවා. ඒ අය ගැන පළමුවෙන්ම සඳහන් කළ යුතුයි කියා මම හිතුවා. නිර්මලා සිතාරාම් තමයි ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය. එතුමිය තමයි අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර, ලංකාවට ඩොලර් බිලියන 03ක් ණය ලබාදීමට තීරණයක් ගනු ලැබුවේ. ඒ පසුගිය අප්‍රේල් මාසයේ දී අපි බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමෙනුත් අනතුරුවයි. බංකොලොත් වු රටකට ණය ලබා දෙනවා කියන එක ඉතා නිර්භීත ක්‍රියාවක්. ඒ නිසා අපි පළමුව එතුමියට ස්තූතිවන්ත විය යුතුයි. එම මාස 03 – 04 තුළ එම රුපියල් බිලියන 03 නොතිබුණා නම් අද රට පවතින තත්ත්වය මම කිව යුතු නැහැ. දෙවනුව අපි ප්‍රධාන රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වූවා. ඒ අතරින් ප්‍රධාන රටක් වන්නේ ඇමරිකාවයි. එහි නායකත්වය ගනු ලැබුවේ එම රටේ භාණ්ඩාගාරයේ ලේකම් ජැනට් යෙලන් මහත්මියයි. අපි එතුමියටත් ස්තූතිවන්ත විය යුතුයි. රටවල් සමඟ මෙන්ම පැරිස් සමුළුව, ලෝක බැංකුව ඇතුළු සියලුදෙනා සමඟ සාකච්ඡා කිරීම සඳහා එහි නායකත්වය ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පුද්ගලික කැපකිරීම කරනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය බව මම සඳහන් කළ යුතුයි. මේ කාන්තාවන් තිදෙනා අපට සහාය දැක්වූවේ නැති නම් අප ඉතාමත් අසීරුතාවට පත් වෙනවා. එක පැත්තකින් මේ ප්‍රශ්නයට වගකිව යුතු පිරිස අතර කාන්තාවන් නැහැ. අනිත් අතට උපකාර කළ අය අතර කාන්තාවන් සිටිනවා. මෙම කාන්තාවන් තිදෙනා දෙස අවධානය යොමු කළ විට අපි හිතනවා මෙම කාන්තාවන් ඇයි මෙහෙම ස්ථානවල සිටින්නේ, නමුත් ඇයි අපේ රටේ නැත්තේ කියා. ඔවුන් තිදෙනා පමණක් නොවෙයි යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය තවත් කාන්තාවක්. යුරෝප සංගමයේ මහ බැංකුවේ අධිපතිනිය ක්‍රිස්ටීන් ලගාර්ඩ් තවත් කාන්තාවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය, ඇමරිකාවේ භාණ්ඩාගාරය මේ සියල්ල අද කාන්තාවන් අතේ තිබෙන්නේ. ආර්ථිකයට බලපෑම් කිරීමට කාන්තාවන් ශක්තිමත් වී තිබෙනවා. එපමණක් නොවෙයි ලෝක වෙළෙඳ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඔකොන්ජො ඉවේලා වගේම ලෝක ආහාර වැඩසටහනේ නව අධ්‍යක්ෂවරිය සින්ඩි මැකේන් කාන්තාවන්. ඉතින් අපට ආහාර, ආධාර ලබාදෙන මෙම ආර්ථික ක්ෂේත්‍රයේ බොහොමයක් කටයුතු සිදු කෙරෙන්නේ කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම වසර 50 තුළ කාන්තාවන් ඉදිරියට පැමිණීම පිළිබඳ අපට සතුටු විය හැකියි. මෙය සිදුව තිබෙන්නේ යුරෝපීය රටවල සහ ඇමරිකාවේ ඒ අය අනුගමනය කළ ප්‍රතිපත්ති නිසයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් අප ආරම්භ කළා. ලංකාවේ සහ ආසියාවේ රටවල් අතර තිබෙන වෙනස එයයි. අප ලංකාව දෙස අවධානය යොමු කරන විට වසර 92කට පෙර අපේ පළමු කාන්තා මන්ත්‍රීවරිය තෝරාපත් කර ගත්තා. 1960දී ලොව පළමු කාන්තා අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්කර ගත්තා. එහෙත් අප ප්‍රගතියත් ලබා නැහැ.අද ඇතැම් රටවල දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය අවම වශයෙන් 20% – 25%ත් අතර තිබෙනවා. නමුත් අප ඒ තත්ත්වයට පැමිණ නැහැ.අපේ පරිපාලන අංශයේ නම් කාන්තාවන් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රයේත් කාන්තා නියෝජනය වැඩි වී තිබෙනවා. නමුත් ව්‍යාපාර අංශය වැනි අංශ ගණනාවක මෙම අඩු පාඩුව තිබෙනවා. මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට කාන්තා කටයුතු අමාත්‍යාංශය සමඟ ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කිරීම සඳහා කමිටු 02ක් පත් කර තිබුණා. ඒ වගේම ආධාර ලබා ගත්තා. කැබිනට් මණ්ඩලය විසින් මෙම කමිටු දෙකෙහි වාර්තා අනුමත කර, මා වෙත ලබා දී තිබෙනවා. 2023 – 2033 දක්වා “ස්ත්‍රී, පුරුෂ සමාජභාවී සමානාත්මතාව සහ කාන්තා සවිබල ගැන්වීම උදෙසා ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාවන් සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය” යන දෙකම අද ඉදිරිපත් කර තිබෙනවා. අප මෙම කටයුතු මෙතනින් නවත්වන්නේ නැහැ. මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර, ඇතුළත් විය යුතු සංශෝධන පිළිබඳ අදහස් ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය සමඟ සාකච්ඡා කර අපේ ඉල්ලීම මත දැන් කෙටුම්පත් 03ක් සකස් කර තිබෙනවා. එකක් ස්ත්‍රී පුරුෂ සමාජභාවි සහ සමානතා පනත, අනෙක කාන්තා සවිබල ගැන්වීමේ පනත හා ජාතික කොමිෂන් සභාවයි. ඒවා මෙම මාසය තුළ සාකච්ඡා කර අඩුම තරමින් ජුනි, ජූලි මාස වන විට නීතිගත කළ යුතුයි. මීට අමතරව කරූ ජයසූරිය මැතිතුමා රජයට සම්බන්ධ නොවන ජන සභා පිළිබඳ පනතක් සකස් කරගෙන යනවා. පාර්ලිමේන්තුවේ කාන්තා කණ්ඩායමටත්, අමාත්‍යාංශයටත් මම යෝජනා කරනවා එතුමා සමඟ සාකච්ඡා කර, එහි කාන්තා නියෝජනය සහ කාන්තා අයිතිවාසිකම් ඇතුළත් කර ගන්නා ලෙස. මීටත් අමතරව කාන්තාවන් සහ ස්ත්‍රී, පුරුෂ සමාජභාවය පිළිබඳ ආයතනයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කාන්තා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එමගින් අපට හැකියාව ලැබෙනවා . කාන්තාවන් වෙනුවෙන් මෙම වැඩ කොටස ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එය අපේ ප්‍රතිපත්තියේ කොටසක්. ඒ සමඟම කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කිරීමට විවිධ අංශවල කාන්තා නියෝජිතයන් සමඟ විශාල සම්මන්ත්‍රණයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එම ක්ෂේත්‍ර මොනවාද කියා අපේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසඳයත්, අමාත්‍යාංශයේ ලේකම්තුමියත් අදාළ නිලධාරිනුත් සමඟ අපි එම ක්ෂේත්‍ර හඳුනා ගනිමු. මම හිතන්නේ 500-1000 අතර කණ්ඩායමක් එතැනට රැස් වෙයි. ඒ අය සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. අද කාන්තා කටයුතු අමාත්‍යාංශය වගේම දීප ව්‍යාප්තව කාන්තා දිනය සමරනවා. දේශපාලනය නිසා ඇතැම් ඒවා තරගකාරිත්වයක් ගෙන තිබෙනවා. නමුත් කාන්තා අයිතිවාසිකම් සහ එය ක්‍රියාවට නැංවීම පිළිබඳ සියලුදෙනා එකට එකතු විය යුතුයි. එම ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් තමයි අමාත්‍යාංශය විසින් ඊළග පියවර ගනු ලබන්නේ. එයයි අපේ නව වැඩසටහන.නමුත් අපි එකක් මතක තබා ගත යුතුයි. අපි ඉන්නේ ඇමරිකාවේවත්, යුරෝපයේවත් නොවෙයි. අපි ඉන්නේ ආසියාවේ. ආසියාවේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වී නැහැ. මෙලෙස කාන්තාවන් ඉදිරියට පැමිණ නැහැ. සමස්ත ආසියාව දෙස අවධානය යොමු කරද්දි කොරියාව, පිලිපීනය, මියන්මාරයේ කාන්තා රාජ්‍ය නායිකාවන් සිටියා. ඉතිරි සියලුදෙනා පැමිණ තිබෙන්නේ දකුණු ආසියාවෙන්. පාකිස්ථානයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන් සහ ලංකාවෙන්. සෝනියා ගාන්ධි මැතිනිය ඇතුළු හත් දෙනෙක් සිටිනවා. නමුත් මෙම කලාපවල කාන්තාවන්ට ලැබී තිබෙන අයිතිවාසිකම් පිළිබඳව අපට සෑහීමකට පත්වෙන්න බැහැ. අද ඇෆ්ගනිස්ථානයේ සිදුව තිබෙන්නේ පසුබෑමක්. කාන්තාවන්ට අධ්‍යාපනය ලබා ගන්න බැහැ, රැකියාවකට යන්න බැහැ. තම අයිතිවාසිකම් භුක්ති විඳින්න බැහැ. මෙම තත්ත්වය තුළ දකුණු ආසියාව ලෙස විශේෂයෙන් ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින සහ ලංකාව ලෙස අපි මේ ගැන සාකච්ඡා කරමු. මොකද සාර්ක් සංවිධානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සඳහන්ව නැහැ. මෙම අයිතිවාසිකම් ලබා ගන්නේ කෙසේ ද කියා අපි එක්ව සාකච්ඡා කර කාන්තා කටයුතු අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යංශය එකාබද්ධව මෙම රටවල ප්‍රධාන කාන්තා ක්‍රියාකාරිනියන්ගේ රැස්වීමක් මේ වසර තුළ ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ලංකාව පමණක් මේ තත්ත්වයෙන් ඉදිරියට ගෙන යාම සාර්ථක වන්නේ නැහැ. එය කලාපය තුළම ක්‍රියාවට නැංවිය යුතුයි. අනෙක් අයටත් එම මාර්ගයේ එන්න කියන අතර ඒ ක්‍රියාවලියේදී අපි ඉදිරියෙන් සිටිමු.මෙම කාන්තා අයිතිවාසිකම් ක්‍රියාත්මක කර අනෙක් දියුණු රටවල වගේ කාන්තාවන්ට එම අයිතිවාසිකම් දිනා දෙමු. අද මේ රටේ ජනගහණයෙන් බහුතරයක් සිටින්නේ කාන්තාවන්. අපි එම සියලුදෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි.යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ යදාමිනී ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ද , ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චෑන්ග්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙකි ඇතුළු විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ද එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධාන නියෝජිත කණ්ඩායමක් ද, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.