ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසි කිරීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන සහ තවත් ද්‍රව්‍ය රැසක් ළඟ තබාගෙන සිටි 30 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල කන්දේවත්ත ප්‍රදේශයේදී සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 590ක්, දුම්කොළ ග්‍රෑම් 110ක්, දුම්කොළ නැටි ග්‍රෑම් 540ක්, ජංගම දුරකථන 4ක් සහ ජංගම දුරකථන චාජර් 23ක් සොයාගෙන ඇත. මෙම ද්‍රව්‍ය තොගය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් වෙත ලබාදීම සඳහා තාප්පයෙන් ඇතුළට විසි කිරීමට සූදානම් කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.














