ඉරානය ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර ජාත්‍යන්තර නීතිය සෘජුවම උල්ලංඝනය කිරීමක් බව ස්විට්සර්ලන්ත ආරක්ෂක අමාත්‍ය මාටින් ෆිස්ටර් (Martin Pfister) මහතා අද (08) ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ස්වයං ආරක්ෂාව සඳහා හෝ විශේෂ අවසරයකින් තොරව බලය භාවිතා කිරීම තහනම් බව පෙන්වා දුන් ඔහු, මෙම යුදමය ක්‍රියාමාර්ග කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව අවධාරණය කළේය.
ස්විට්සර්ලන්ත කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රහාර එල්ල කරන සියලුම පාර්ශවයන් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම සටන් විරාමයකට එළඹිය යුතු බවයි. මීට අමතරව ජර්මනියේ නියෝජ්‍ය චාන්සලර් ලාර්ස් ක්ලින්බෙයිල් (Lars Klingbeil) මහතා ද මෙම යුද්ධයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව බරපතළ සැක මතු කර ඇති අතර, ජර්මනිය කිසිසේත්ම මෙම යුද්ධයට හවුල් නොවන බව ද ප්‍රකාශ කර තිබේ. ස්පාඤ්ඤය ද මෙම බෝම්බ ප්‍රහාර නීති විරෝධී සහ නොසැලකිලිමත් ක්‍රියාවන් ලෙස හඳුන්වමින් දැඩි විවේචන එල්ල කර ඇත.














