යාපනය මයිලිඩ්ඩි ධීවර වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් එළඹෙන 17 වනදා ආරම්භ කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 14 වනදා දින මයිලිඩ්ඩි ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මයිලිඩ්ඩි ධීවර වරායේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු වලින් මගහැරුණු සංවර්ධන කටයුතු එක්කරමින් වසරක් තුළ එම කටයුතු නිම කිරීමෙන් පසුව තෙවන අදියර ලෙස මෙම වරාය පුළුල් කර අංග සම්පූර්ණ වරායක් ලෙස වසර දෙකකින් නිම කිරීමට අපේක්ෂා කරන බවයි.
රට පුරා ඇති වරායන්වල සංවර්ධන කටයුතු කිරීමේ දී අදාළ ධීවර වරාය ප්‍රයෝජනයට ගන්නා ධීවරයන්ගේ අවශ්‍යතා මත එම සංවර්ධනය කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ අනුව මයිලිඩ්ඩි ධීවර වරායේ ඉදිකිරීම්ද මෙම ධීවර වරාය භාවිතා කරන ධීවරයන්ගේ අවශ්‍යතාවය අනුව ඉදිකරන බවද හෙතෙම පැවසීය.
තවද නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා විශාල ප්‍රමාණයක් මයිලිඩ්ඩි ධීවර වරායේ නවතා ඇති අතර එම යාත්‍රා නිරීක්ෂණය කිරීමට ද අමාත්‍යවරයා එක් විය. මෙම යාත්‍රා නවතා තැබීම හේතුවෙන් ධීවර ප්‍රජාවට දැඩි බලපෑමක් එල්ල වන බවත් එම යාත්‍රා ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.