27 April 2024
#දේශීය

කාබනික පොහොර සහනාධාර මුදල යල කන්නයටත් දෙනවා 

රසායනික පොහොර භාවිතයෙන් තොරව නිෂ්පාදනය කරනු ලබන සහල් පරිභොජනය සඳහා වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින නිසා කාබනික වී වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාබනික වී ගොවීන් සඳහා පොහොර සහනාධාර වශයෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගනු ලැබී ය.

ඒ අනුව හෙක්ටයාර් 02ක් හෝ ඊට අඩු කුඹුරු බිම් ප්‍රමාණයක කාබනික පොහොර භාවිතයෙන් වී වගාකරන ගොවීන්හට මෙම මුදල් ප්‍රතිපාදනය හිමි වේ. කාබනික වී වගාව සඳහා පොහොර සහනාධාර මුදල් අපේක්ෂා කරන ගොවීන්, උපායමාර්ගික ව්‍යවසාය කලමනාකරණ ආයතනයේ  (SEMA) ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

කෘෂි දේශගුණික කලාප හා වාරි ක්‍රම අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති පොහොර නිර්දේශ පදනම් කරගනිමින් කුඹුරට යෙදිය යුතු යූරියා, ත්‍රිත්ව සුපිරි පොස්පේට් (TSP) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) යන රසායනික පොහොර වෙනුවෙන් ඒ ඒ කන්නයේ රජය විසින් දරනු ලබන මුදලට සමාන මුදලක් සුදුසුකම් සපුරා ඇති ගොවීන්ට සහනාධාර ලෙස හිමි වේ.

ඒ අනුව දේශගුණික කලාප එනම් අතරමැදි හා වියළි කලාපයේ ජල සම්පාදිත කුඹුරු, තෙත් කලාපයේ ජල සම්පාදිත කුඹුරු, අතරමැදි හා වියළි කලාපයේ වර්ෂා පෝෂිත කුඹුරු, තෙත් කලාපයේ වර්ෂා පෝෂිත කුඹුරු වශයෙන් රු.13,897 සිට රු. 18,164 ක් දක්වා වන මුදලක් හෙක්ටයාර් එකකට කාබනික පොහොර සහනාධාරය වශයෙන් ලබාදීමට කටයුතු යොදා ඇත.

මෙම මූල්‍ය ප්‍රතිපාදන 2018 යල කන්නයේ දී කාබනික වී වගාවේ නිරතවන ගොවීන්ටත් ලබා දීමට යෝජිත අතර, නිර්දේශිත ගොවීන්ගේ මූලික තොරතුරු සෙමා ආයතනය විසින් නිර්දේශිත තොරතුරු මත 2018 යල කන්නය සඳහා ද කාබනික පොහොර සහනාධාර දීමනාව ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

 

පොහොර සහනාධාරය යටතේ වී සඳහා රු.500ට ලබා දෙන රසායනික පොහොරත්, සෙසු බෝග සඳහා රු.1500 ට රසායනික පොහොරත් ලබා දීම සිදු කරන අතර, වෙළෙඳපලේ මෙම රසායනික පොහොරවල මිල, හොණ්ඩරයක් සඳහා රු.3500 ඉක්මවයි. එම නිසා 2018 වර්ෂයේ පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වැය කරන මුදල රු.මි. 33,000ක් වුවත්, රු.1500ක පොහොර සහනාධාරයත් සමඟ එම මුදල රු.මි.35,000ක් ඉක්මවන බවත් අමාත්‍යවරයා පැවසී ය.

 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (03) පස්වරුවේ මාතර,දිස්ත්‍රික්කයේ සියලුම කෘෂිකර්ම නිලධාරින් “අපි වවලයි – අපි කන්නේ” වැඩපිළිවෙල පිළිබඳව දැනුම්වත් කරන සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි. එම සම්මන්ත්‍රණය වැලිගම නගර සභා ශාලාවේදී පැවැත්විණි.

 

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් රජය තරම් ගොවියාට සහන ලබා දුන්න තවත් රජයක් නිදහසින් පසු අපේ රටේ නොතිබුණු බවයි. බෝග වර්ග 06ක් සඳහා කිසිදු දායක මුදලක් අයකර නොගනිමින් හෙක්ටයාර් එකකට රු. ලක්ෂයක මුදලක් වගා හානි සඳහා ගෙවීමට රජය රු.මි. 5228ක් වෙන් කර ඇත. ඒ අනුව වී, මිරිස්, සෝයා බෝංචි, බඩඉරිඟු, අර්තාපල් සහ ලූනුවලට එම රක්ෂණය හිමි වේ. ඊට අමතරව ගොවීන් දැඩි නියඟයට හසුවීම නිසා ඔවුන්ට සහන සැලසීමට රු.මි. 38,000ක් රජය මෙම වසරේදී වැය කරනු ලැබී ය.

 

එමෙන්ම පොහොර සහනාධාර සඳහා රු.මි. 35,000කට අධික මුදලක් රජය විසින් දරයි. මේ සියල්ලම රජය විසින් ඉටු කරනුයේ ගොවිජනතාව ආරක්ෂා කිරීමට බව ද ඇමතිවරයා කීය. මෙම අවස්ථාවට ගොවිජන සේවා කොමසාරිස් ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතා ඇතුළු කෘෂිකර්ම නිලධාරීන් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *