27 April 2024
#දේශීය

ලෝක ආර්ථික අර්බූදයට ශ්‍රී ලංකාව මුහුණ පෑමට හේතු අගමැති හෙළි කරයි

යුද්ධයෙන් පසු විදේශ ආයෝජන ලබාගන්නවා වෙනුවට විදේශ ණය විශාල ලෙස ලබාගැනීම නිසා වර්තමානය වන විට ලෝක ආර්ථික අර්බූදයට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ණය වෙනුවට ආයෝජන තෝරා ගත් රටවලට ආර්ථික අර්බූදය බලපා නැති බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා උද්ගතව තිබෙන අර්බූදයෙන් මිදීම සඳහා කෙටි කාලීන හා දිගු කාලීන පියවර කෙරෙහි අවධානය යොමුව තිබෙන බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ අද (29) පුත්තලම වනාතවිල්ලූව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “

වසර 10කට පසු ඇමෙරිකාවේ ආර්ථිකය ශක්තිමත් වී ඩොලරයේ වටිනාකම ඉහල ගොස් තිබීම හේතුවෙන් වර්තමානය වන විට ලෝක ආර්ථික අර්බූදයක් නිර්මාණය වී තිබෙනවා. ඒ අර්බූදයට ලොව අනෙකුත් රටවල් මෙන් අපට ද මුහුණ පෑමට සිදුව තිබෙනවා.

1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආරම්භ කළ විවෘත ආර්ථික වැඩපිළිවෙල යටතේ විදේශ ආයෝජන ලබාගෙන විදේශ විනිමය රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කළා. ඒ යටතේ ඇඟලූම් කර්මාන්තශාලා 200ක් ආරම්භ කළා. ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, රබර් නිෂ්පාදනය, තේ වගාව දියුණු කළා. එමෙන්ම කර්මාන්ත හා ආයෝජන කලාප රටේ ආරම්භ කළා. මෙවැනි ක්‍රියාමාර්ග ඔස්සේ විදේශ විනිමය රටට ලබාගැනීමට හැකිවුණා.

නමුත් යුද්ධයෙන් පසු රට වෙනත් මාවතක් ඔස්සේ ගමන් කළා. විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට පියවර නොගෙන විදේශ ණය විශාල වශයෙන් ලබා ගැනීමට ක්‍රියා කළා.

මෙලෙස ණය ලබාගැනීමෙන් ඇතිවිය හැකි අනිසි ප්‍රතිඵල එදා විපක්ෂයේ සිටිමින් අප පෙන්වා දුන්නා. ඒ අනුව එලෙස ණය ලබා නොගන්නා ලෙසද අප ඉල්ලීම් කළා. නමුත් එවකට සිටි මහබැංකු අධිපතිතුමා ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් වනු ඇතැයි විශ්වාස කළේ නැහැ. ඒ නිසා හැකිතරම් ණය ගන්නා ලෙස උපදෙස් දුන්නා.

ඒ අනුව 2013, 2014 වන විට මහා පරිමාණ ලෙස ලබාගෙන තිබූ ණය වල වාරිකය හා පොලිය ගෙවන්නවත් අපේ රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. එහිදී විදේශ විනිමය පාලනය කළා. එයත් අසාර්ථක වුණා. මේ අර්බූද සියල්ල මධ්‍යයේ පාලන කාලය වසර දෙකක් තිබියදී හදිසි මැතිවරණයකට යාමට තීරණය කළා.

ඒ මැතිවරණයේ 2015දී  රටේ බලය ලබාගෙන ණය සම්පූර්ණයෙන් ගෙවා දැමීමේ අභියෝගය අප භාරගත්තා. එපමණක් නොවෙයි. රටේ ආදායම් ක්‍රමානුකූලව ඉහල දැමීමට ද පියවර ගත්තා. ඒ අනුව 2025 වන විට මේ ණය ගෙවා දමා අප ආරම්භ කළ සංවර්ධන වැඩපිලිවෙලේ ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීමට අප සැලසුම් කළා. මේ අතර තුර වත්මන් ආර්ථික අර්බූදයට අපට මුහුණපෑමට සිදුවුණා. මේ ආර්බූදයෙන් ජය ගන්න නම් අපනයන වැඩිකර විදේශ විනිමය මෙරටට ලබාගත යුතුයි.

2009 දී අපි ණය ලබාගන්නා විට වියට්නාමය, තායිලන්තය ණය ලබාගත්තේ නැහැ. ඔවුන් ආයෝජන ලබාගත්තා. ඒ නිසා එම රටවලට ආර්ථික අර්බූදයෙන් මිදීමට හැකිවී තිබෙනවා. උද්ගතව ඇති ආර්ථික අර්බූදයට මුහුණ දීම සඳහා ලොව අනෙකුත් රටවල් මේ වන විට පියවර ගනිමින් සිටිනවා. මේ සෑම රටක්ම කෙටිකාලින පියවර දෙස අවධානය යොමු කර තිබෙනවා. එහිදී ඉන්දියාව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඒ රටට ගෙන්වීම තහනම් කර තිබෙනවා.

මෙම ආර්ථික අර්බූදය අද හෝ හෙට අවසන් වන්නේ නැහැ. ලබන වසරටත් යෑමට ඉඩ තිබෙනවා. මේ තත්වය අවබෝධ කරගෙන කෙටිකාලීන හා දිගු කාලීන විසදුම් කෙරෙහි යොමු විය යුතුයි.  යැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි, ඇතුළු එජාප ක්‍රියාකාරින් සහ පොලිස් නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *