වසර 15 කට ආසන්න කාලයක් ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය හෙබවූ ටිම් කුක් ලබන සැප්තැම්බර් 1 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අතර ඔහුගේ නායකත්වය යටතේ ඇපල් සමාගම ලොව වටිනාම සමාගමක් ලෙස අත්කරගත් ප්‍රගතිය අතිමහත්ය. 2011 වසරේදී ස්ටීව් ජොබ්ස්ගෙන් පසුව පාලනය භාරගත් අවස්ථාවේ ඇපල් සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 350 කට වඩා අඩු මට්ටමක පැවති නමුත් අද වන විට එය ඩොලර් ට්‍රිලියන 4.01 ක වාර්තාගත අගයක් දක්වා ඉහළ නංවන්නට ඔහු සමත්ව තිබේ. 2025 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඇපල් සමාගම ඩොලර් බිලියන 112 ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර එය 2010 වසරේ ලාභය මෙන් අට ගුණයක වර්ධනයකි.
ටිම් කුක්ගේ පාලන කාලය තුළ ඇපල් සමාගම හුදෙක් අයිෆෝන් සහ පරිගණක නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් ඇපල් වොච් (Apple Watch) සහ එයාර්පොඩ්ස් (AirPods) වැනි පැළඳිය හැකි උපාංග (Wearables) හරහා නව වෙළෙඳපොළක් නිර්මාණය කළේය. එමෙන්ම 2020 වසරේදී ඉන්ටෙල් ප්‍රොසෙසර්වලින් ඉවත් වී තමන්ගේම “ඇපල් සිලිකන්” (Apple Silicon) චිප්ස් වෙත මාරු වීම හරහා මැක් (Mac) පරිගණකවල ක්‍රියාකාරීත්වය සහ බැටරි ආයු කාලය ඉහළ නැංවීමට ඔහු පියවර ගත්තේය. මීට අමතරව ඇපල් පේ (Apple Pay), ඇපල් මියුසික් (Apple Music) සහ ඇපල් ටීවී (Apple TV) වැනි සේවා අංශය (Services) දැවැන්ත ලෙස වර්ධනය කළ ඔහු එම අංශය හරහා පමණක් 2025 වසරේදී ඩොලර් බිලියන 109 කට අධික ආදායමක් උපයා දීමට සමත් විය.
කෙසේ වෙතත් ටිම් කුක් සිය ධුරයෙන් සමුගන්නා මෙම මොහොත වන විටත් කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රය තුළ ඇපල් සමාගමට පැහැදිලි පෙරළියක් කිරීමට නොහැකි වීම කැපී පෙනෙන කරුණකි. 2024 වසරේදී “Apple Intelligence” හඳුන්වා දුන්නද සිරි (Siri) පද්ධතියේ AI දියුණුව තවමත් ප්‍රමාද වෙමින් පවතින අතර ඒ සඳහා ගූගල්හි Gemini තාක්ෂණයේ සහය ලබා ගැනීමට ද ඔවුන්ට සිදුව ඇත. ටිම් කුක්ගෙන් පසුව පත්වන ජෝන් ටර්නස් (John Ternus) හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ මෙම AI හිඩැස පිරවීම සහ ඇපල් සමාගම ඉදිරි දශකය වෙත සාර්ථකව මෙහෙයවීමයි.














