‘Ditwah’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදල ශක්තිමත් කරමින්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ගොවි සංවිධාන රුපියල් 3,746,000ක (රුපියල් තිස්හත් ලක්ෂ හතළිස් හයදහසක) මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන මෙම ගොවි සංවිධාන එක්ව එකතු කරන ලද මෙම මුදල, ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසා ලබාදුන් සුවිශේෂී දායකත්වයකි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් නේසරත්නම් විෂ්ණුදාසන් මහතාගේ උපදෙස් මත මෙම පරිත්‍යාගය සිදු කර ඇත.
ඊට අදාළ චෙක්පත ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී කන්දයියා නෙමිනාදන් මහතා සහ දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති බී. පී. තක්ෂිලා දේශප්‍රිය මහතා විසින් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
තමන් ද විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන අතරතුර, රටේ පීඩාවට පත් අනෙකුත් ජනතාව වෙනුවෙන් ගොවි ප්‍රජාව දැක්වූ මෙම මානුෂීය සහයෝගය ජනාධිපති ලේකම්වරයාගේ ඇගයීමට ලක් විය. මෙම මුදල් සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සහ යටිතල පහසුකම් යළි ගොඩනැගීමේ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.














