ඇමරිකා – ඉරාන යුද්ධය සිව්වන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාර දියත් කිරීමේ තීරණයේ වගකීම ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබේ. ටෙනසිහි මෙම්ෆිස් හි පැවති ප්‍රසිද්ධ උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, මෙම යුද්ධය සාධාරණීකරණය කළ හැකිද යන්න පිළිබඳව සිය පාලන තන්ත්‍රය තුළම විවාදයන් මතුවෙමින් පවතින මොහොතකය.
මෙම්ෆිස් ආරක්ෂක කාර්ය සාධක බලකායේ වටමේස සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් සඳහන් කළේ, ඉරානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ප්‍රථමයෙන්ම යෝජනා කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පීට් හෙග්සෙත් බවයි. “පීට්, මම හිතන්නේ ඔබ තමයි ඒ ගැන මුලින්ම කතා කළේ. ඔබ කිව්වා ‘අපි ඒක කරමු, මොකද ඔවුන්ට න්‍යෂ්ටික අවියක් තබා ගැනීමට ඉඩ දිය නොහැකියි’ කියලා,” යනුවෙන් තමන් අසලම අසුන්ගෙන සිටි ආරක්ෂක ලේකම්වරයා දෙසට හැරෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.
මෙම ප්‍රකාශය හරහා යුද්ධයේ දේශපාලනික වගකීමෙන් තමන් නිදහස් වීමට ට්‍රම්ප් උත්සාහ කරන බවට විචාරකයෝ මත පළ කරති. යුද්ධය හේතුවෙන් පවතින දැඩි ජාත්‍යන්තර පීඩනය සහ විවේචන හමුවේ සිය ආරක්ෂක ලේකම්වරයා මෙලෙස ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් කිරීම (Throwing under the bus) දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ. කෙසේ වෙතත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පාලනය කිරීම සඳහා ගනු ලැබූ මෙම දැඩි තීරණය පිළිබඳව රජය තුළ තවමත් පවතින්නේ බෙදුණු මතයකි.















