ඇමෙරිකාවේ Rivian සමාගම සමඟ එක්ව පූර්ණ ස්වයංක්‍රීය (Fully Autonomous) රොබෝටැක්සි 50,000ක් ලෝක වෙළඳපොළට හඳුන්වා දීමට සූදානම් වේ. මේ සඳහා Uber සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.25ක (යුරෝ බිලියන 1.1ක) දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඊයේ (මාර්තු 19) නිල වශයෙන් නිවේදනය කෙරිණි.
Rivian සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන නවතම ‘R2’ මාදිලියේ රොබෝටැක්සි රථ මුලින්ම 10,000ක් මිලදී ගැනීමට Uber එකඟ වී ඇති අතර, 2030 වසර වන විට එම සංඛ්‍යාව 50,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය. Rivian සමාගමේ මෘදුකාංග පද්ධති, පරිගණක වේදිකාව සහ වාහන සැලසුම් කිරීමේ ඇති සුවිශේෂී හැකියාව මෙම සහයෝගීතාවයට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙම රොබෝටැක්සි සේවාව ප්‍රථමයෙන් 2028 වසරේදී ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ මියාමි යන නගරවලින් ආරම්භ කිරීමට නියමිතය. අනතුරුව 2031 වසර වන විට ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපයේ ප්‍රධාන නගර 25ක් දක්වා මෙම සේවාව ව්‍යාප්ත කිරීමට Uber සැලසුම් කර ඇත.
Uber සමාගම මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මුල් අදියරේදී ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සිදු කරන අතර, ඉතිරි මුදල 2031 වසර දක්වා අදියර කිහිපයකින් ලබා දීමට නියමිතය. Rivian සමාගම දැනටමත් ඇමේසන් (Amazon) වැනි සමාගම් සඳහා බෙදා හැරීමේ වෑන් රථ නිපදවන අතර, ඔවුන්ගේ නවතම ජෝර්ජියා (Georgia) කර්මාන්ත ශාලාවේ කටයුතු ද මේ වන විට වේගවත්ව සිදුවෙමින් පවතී.
















