මැදපෙරදිග කලාපයේ සිය මිත්‍ර රටවල් ඉරාන ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකානු රජය යුක්‍රේනයේ සහය ඉල්ලා ඇති බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අනාවරණය කරනවා. ඉරාන ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳව මනා පළපුරුද්දක් ඇති යුක්‍රේන විශේෂඥයන්ගේ සහය ලබාදෙන ලෙස ඇමරිකානු පාර්ශවයෙන් ඉල්ලීම් ලැබී ඇති බවයි ඔහු පවසන්නේ.
යුක්‍රේන විශේෂඥයන් සහ අවශ්‍ය ආරක්ෂක මෙවලම් ලබාදීමට උපදෙස් දී ඇති බව පැවසූ සෙලෙන්ස්කි, මෙහිදී විශේෂ කොන්දේසියක් ද ඉදිරිපත් කර තිබෙනවා. එනම්, මෙම සහය ලබාදීම හරහා යුක්‍රේනයේ ආරක්ෂාවට බලපෑමක් නොවිය යුතු අතර කියෙව් (Kyiv) පාලනයට වාසිදායක රාජ්‍යතාන්ත්‍රික එකඟතාවන් ද ඇති විය යුතු බවයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඕනෑම රටකින් ලැබෙන සහයක් ලබාගැනීමට තමන් සූදානම් බවයි.














