බග්ඩෑඩ් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පසුව, ඉරාකයේ වෙසෙන සියලුම අමෙරිකානු පුරවැසියන්ට වහාම එම රටින් ඉවත් වන ලෙස අමෙරිකානු රජය දැනුම් දී තිබේ. ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම්වලින් එල්ල විය හැකි බරපතළ තර්ජන සැලකිල්ලට ගෙන මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර, ඉරාකයට අමතරව ඕමානය ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල් 14ක සිටින සිය පුරවැසියන්ට ද පිටව යන ලෙස අමෙරිකාව දන්වා ඇත.
මේ අතර, මැදපෙරදිග කලාපය පුරා යුදමය තත්ත්වය උත්සන්න වෙමින් පවතින අතර සෞදි අරාබිය, ඩුබායි, කටාර් සහ කුවේට් යන රටවල් ද ප්‍රහාරයන්ට මුහුණ දී තිබේ. සෞදි ආරක්ෂක අංශ රියාද් නුවරට පැමිණි ඩ්‍රෝන යානා 7ක් විනාශ කර ඇති අතර, කටාර් රාජ්‍යය ඉරානය විසින් එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල 4ක් සාර්ථකව මැඩපවත්වා ඇත. ඩුබායි සහ කුවේට් බලධාරීන් ද ගුවනේදීම ප්‍රහාරක යානා සහ ඩ්‍රෝන අඩපණ කිරීමට සමත් වී ඇති බව වාර්තා වේ.














