ඉරාන වරායන් ඉලක්ක කරගත් නාවික අවහිරතාව (Blockade) අද (13) දින ග්‍රීනිච් වේලාවෙන් 14:00 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7:30 ට පමණ) ආරම්භ කරන බව ඇමරිකානු හමුදාව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඉරානයට සම්බන්ධ සියලුම නැව් අවහිර කරන බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත. කෙසේ වෙතත් වෙනත් රටවල් බලා යන නෞකාවලට බාධා නොකරන බව ඇමරිකාව පවසා ඇතත් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසන්නේ තමන් කිසිසේත්ම තර්ජන හමුවේ යටත් නොවන (Surrender) බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන ඕනෑම යුද නෞකාවකට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවා ඇත. පාකිස්ථානයේ පැවැති සාම සාකච්ඡා බිඳ වැටීමට හේතුව ඉරානය සිය න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැරීමට අකමැති වීම බව ට්‍රම්ප් පවසන අතර ඉරානය පවසන්නේ දෙපාර්ශවය එකඟතාවයකට ඉතා ආසන්නව සිටියදී ඇමරිකාව විසින් කොන්දේසි වෙනස් කළ බවයි.
මෙම නාවික අවහිරතාවය ක්‍රියාත්මක කිරීම ඇමරිකානු හමුදාවන්ට මෙන්ම ගෝලීය බලශක්ති සැපයුමට ද නව අභියෝග රැසක් මතු කරනු ඇතැයි විදේශ දේශපාලන විචාරකයෝ පවසති. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි පටු මුහුදු මාර්ගයක මෙවැනි මෙහෙයුමක් සිදු කිරීමේදී ඇති විය හැකි යුදමය අවදානම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව පවතී.














