27 April 2024
#සංවර්ධන

අපි කිසි දෙයක් විකුණලා නෑ – ඇමැති මංගල

ජනතාව අත්පොලසන් දිය යුත්තේ දේශපාලනඥයා පොරොන්දු ලබා දෙන විට නොව පොරොන්දු ඉටු කරන විට බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. දේශපාලනඥයන්ගේ පොරොන්දුවලට අත්පොලසන් ලබා දීමේ ප්‍රතිවිපාක පසුගිය වසර දහයක කාලය තුළ ජනතාවට විඳින්නට සිදු වූ බව හෙතෙම පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව, ඇළහැර, පොකුරුගම පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතිට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රුපියල් කෝටි 6000ක වියදමින් ක්‍රියාත්මක පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ආරම්භ කෙරෙන ව්‍යාපෘති 180න් එකක් ලෙස මෙම ව්‍යාපෘතිය අද (01) ජනතා අයිතියට පත් කෙරිණි. ප්‍රදේශය පුරා පැතිර යන වකුගඩු රෝගයට පිළියමක් ලෙස මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කෙරුණු අතර එමගින් ප්‍රදේශයේ ජනතාවට නැනෝ තාක්ෂණ මගින් පෙරන ලද ජලය නොමිලේ ලබා දෙනු ලබයි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා “ අපට චෝදනා කරනවා අපි රාජ්‍ය සම්පත් විකුණනව කියල. අපි කිසි දෙයක් විකුණල නෑ. වැඩක් ගන්න බැරුව තිබුණ හම්බන්තොට වරාය චීන සමාගමක් එක්ක එකතු වෙලා දියුණු කරනවා. ඒ වගේමයි මත්තල ගුවන්තොටුපොළ ඉන්දියානු සමාගමක් එක්ක එකතු වෙලා දියුණු කරන්න අපි කටයුතු කරනවා. මේක අද ලෝකයේ ඉතා සුලබව සිදු වන දෙයක්. ඒ අනුව ශ්‍රී ලංකාව ඉතා දියුණු සංවර්ධනයක් කරා 2025දි ළගා කරවන්න අපි සූදානම්. සුදු වෑන් නැති, මැරයන් නැති, ඒකාධිපතියන් නැති ශ්‍රී ලංකාව 2025 දී ඉන්දියන් සාගරයේ ප්‍රධාන වාණිජ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අපේක්ෂාවයැයි ද අමාත්‍යවරයා පැවැසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *