කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් අන්තර්ගතයන් (Content) නිපදවා දැවැන්ත ආදායමක් උපයමින් තිබූ ප්‍රධාන පෙළේ YouTube නාලිකා 16ක් වසා දැමීමට Google සමාගම පියවර ගෙන ඇත. අදාළ නාලිකා මගින් YouTube හි “අනිසි භාවිතය සහ ස්පෑම්” (SPAM) ප්‍රතිපත්ති බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ. කිසිදු නිර්මාණාත්මක අගයක් නොමැතිව, හුදෙක් පද්ධතිය නොමග යවමින් (Algorithm manipulation) මුදල් ඉපයීම ඉලක්ක කරගත් “AI Slop” වීඩියෝ දහස් ගණනින් පළ කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇත.
වසා දමන ලද මෙම නාලිකා සතු මුළු ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 35කට අධික වන අතර, ඒවා බිලියන 4.7ක නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගෙන තිබුණි. මෙම නාලිකාවල වාර්ෂික ඇස්තමේන්තුගත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් බිලියන 3කට වඩා වැඩි බව වාර්තා වේ. මිලියන 5කට වඩා ග්‍රාහකයින් සිටි Cuentos Facinantes සහ Imperio de Jesus වැනි ජනප්‍රිය නාලිකා ද මෙම තහනමට ලක්වූවන් අතර වේ.
YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මෝහන් (Neal Mohan) අවධාරණය කර ඇත්තේ, AI තාක්ෂණය නිර්මාණකරුවන්ට සහායක් ලෙස භාවිතා කිරීම වරදක් නොවන නමුත්, මිනිස් ශ්‍රමයකින් තොරව හුදෙක් පද්ධතිය අසමතුලිත කරන ස්පෑම් අන්තර්ගතයන්ට තවදුරටත් ඉඩ නොදෙන බවයි. සැබෑ නිර්මාණකරුවන්ට (Human Creators) සාධාරණ අවස්ථාවක් ලබා දීම සහ පරිශීලකයින්ට ගුණාත්මක අන්තර්ගතයන් සැපයීම මෙම දැඩි ක්‍රියාමාර්ගයේ මූලික අරමුණ වී තිබේ.














